සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

61

සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වන බවත් බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (15) පැවති පුරාවිද්‍යා සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම්, ලංකාවේ ඉතිහාසය ලියනවා නම්, ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් අපට මේ කරුණු සඳහන් නොකර ඉන්නට හැකියාවක් නැහැ.
පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ඒ ප්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප්‍රධාන විහාරස්ථාන තිබෙනවා.
අද මෙරට ජනගහනය මිලියන 22 ක් වුවත් අතීත යුගයේදී ලක්‍ෂ 22 ක ජනගහනයක්වත් සිටියා යැයි මා සිතන්නේ නැහැ. එකළ ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමග තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදිකෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මෙම විහාරස්ථාන සම්බන්ධව ඒ ප්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. එම කතා ඇතැම්විට එක් කාලයකට අයත් වනවා. රජවරුන්ගේ අනුග්‍රහය මත දියුණුවූ විහාරස්ථාන තිබෙනවා.
දේවානම් පියතිස්ස රජුගේ කාලයේ සිට ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ යුගය වනතෙක් නොයෙක් පාලකවරුන්ගේ අනුග්‍රහය මත විහාරස්ථාන දියුණුවට පත් වුණා. ඒවා ඉතිහාසයට එකතු වී තිබෙනවා. ඇතැම් රජමහා විහාරවල සහ පුරාණ විහාරවල ඉතා පැරැණි බිතුසිතුවම් තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ යුගයට අයත් වූ බොහෝ බිතුසිතුවම් දැකගත හැකියි. එමෙන්ම පුස්කොල පොත් සහ ග්‍රන්ථ තිබෙනවා. ඒ ආකාරයේ ඉතා වැදගත් කාරණා මේ විහාරස්ථාන ආශ්‍රිතව දැකගන්නට හැකියාව තිබෙනවා. සමස්ථයක් ලෙස ගතහොත් ඒවා අපේ ඉතිහාසයේ වැදගත් කොටසක් බව සඳහන් කළ යුතුයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මුල් කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්‍ෂා කර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සාහයක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.
මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් අප එම විහාරස්ථාන ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.
මෙලෙස අප ආධාර ලබාදෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. එම විහාරස්ථානවල අවශ්‍ය සංරක්‍ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල් ලබාදීම අපේ යුතුකමයි. එම අතීත විහාරස්ථාන ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මැතිතුමාටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමාටත්, එම නිලධාරී මහත්වරුන්ටත් ප්‍රසංශා කළ යුතුයි.
අප රටේ උරුමය ආරක්‍ෂා කරනවා නම් පුරාවිද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන් ද සිල්වා මහතාත්, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම අපගේ සතුටට හේතු වෙනවා. අතීතයේ සිට එම විද්වතුන් සමග කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාසය මතු කරගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.
අප රජය බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරනවා. එම නිසා ජෝන් අමරතුංග ඇමැතිතුමාත්, ඩී.එම්. ස්වාමීනාදන් ඇමැතිතුමාත් මෙම අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත් වෙනවා. එස්.බී. නාවින්න සංස්තෘක ඇමැතිතුමාත් එක්කරගෙන අප ඉතා සුවහඳව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා.
සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් බිහිකළේ මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහායි. එක් අතකින් ආගම් අතර සංහිදියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්‍ෂා කොට දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උනන්දුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩකටයුත්ත අපේ යුතුකමක් ලෙස සලකා ඉටුකරමින් ඉදිරියට යාම අරමුණයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්‍ෂා කරගත් බුදුදහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදුදහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදුදහම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා නොවුණානම් එම රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප්‍රශ්නය විමසිය යුතුයි.
ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක්‍රියා මීට පෙර සිදුවූයේ නැහැ. මෙරට පුරාණ රජමහා විහාරස්ථාන ආරක්‍ෂා කිරීමේ සහ සංරක්‍ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150 ක් සංරක්‍ෂණය කිරීම සඳහා ආධාර ලබාදෙනවා. ඒ වැඩකටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. අප ක්‍රමානුකඣලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්‍ෂා කර ගත යුතුව තිබෙනවා.
ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවලට විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතාවයන් පිළිබඳව අපට හිතාගන්නටවත් බැහැ. ඒවාට ආධාර කළේ නැතිනම් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළානම් අද එම විහාරස්ථාන නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.
දෙවැනි කාරණය නම් ප්‍රේමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින දළදා මාලිගාව සඳහා රන්වියනක් ලබාදුන්නා. එල්.ටී.ටී.ඊ බෝම්බයෙන් පසුව එම රන්වියන අලූත්වැඩියා කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් එම රන්වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාරගෙන තිබෙනවා. මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ්‍රයාන ආදී සම්ප්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැදුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්‍ෂා කර ගත යුතුයි. දෙවන කටයුත්ත ලෙස අප ඒ කාර්යය ඉටු කරනවා.
රටේ ආර්ථික ප්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා අප රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩකටයුතු සඳහා ද යෙදවිය යුතුව තිබෙනවා.
මෙරට බුදුදහම ආරක්‍ෂාවී අග්නිදිග ආසියාව දක්වා ගමන් කළේ මහාවිහාරයෙනුයි. එම නිසා මහාවිහාරයේ සංරක්‍ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු වූයේ නැහැ. මා 2002, 2003 වසරවල අග්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් සිදුවී නැහැ. එම නිසා මහාවිහාරයේ කැණීම් ඇරැඹිමට අප විශේෂයෙන්ම කල්පනා කළා.
වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ උපන් ස්ථානය දැකගැනීමට ජෙරුසෙලමට යනවා. ඒ ආකාරයට අපත් ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා වූ මහාවිහාරය සොයාගත යුතුයි. සීගිරියේ කැණිම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. එම නිසා මහාවිහාරයේ වැඩකටයුතු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාරදී තිබෙනවා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කොට කැණීම් සඳහා ඉඩලබාදුන්නා. උන්වහන්සේලාට වැඩවිසීමට වෙනත් ස්ථානයක් ලබා දෙනවා.
එසේනම් ථෙරවාදී බුදුදහමේ ආරම්භක ස්ථානය වන මහාවිහාරයේ වැඩකටුතු ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ. බුදුන් වහන්සේ උපතලැබූ මෙන්ම ජීවත්වූ ලූම්බිණිය, කපිලවස්තු පුර, ප්‍රදේශවල සංරක්‍ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා. නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. එම නිසා ජපාන ආධාරවලට අමතරව අපත් ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. 2018 සහ 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දස ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15 ක් ඒ වෙනුවෙන් ලබාදෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා.
බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත්වූ කපිල වස්තුපුරය, ලූම්බිණිය සංරක්‍ෂණය කරනවා යනු අපේ බෞද්ධ හිතට ප්‍රබෝදයක් ඇති වන බව කිව යුතුයි. අප බුදුදහම ආරක්‍ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩකටයුතු කළ යුතුයි. බුදුදහම ආරක්‍ෂා කරන බව කියමින් බෙරගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමග සාකච්ඡා කොට ඒ මුදල් ලබාදීමට අප තීරණය කර තිබෙනවා.
2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් ලබාදී තිබෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්‍ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහාවිහාරයේ සංරක්‍ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්‍ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුලින් බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නවා.