මානව හිමිකම් කවුන්සිල් යෝජනාවේ කාලසීමාව දීර්ඝ කර ගැනිමට බලාපොරොත්තුවක්

Share

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බව රජය පවසා සිටියි.

විදෙස් කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී අදාල කාලසීමාව දීර්ඝ කර ගැනිමට බලාපොරොත්තු වන බවය.

2015 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව 2017 පෙබරවාරි, මාර්තු මාසවලදී පැවැත් වූ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයේදී කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගනු ලැබීය.

ඒ අනුව අදාල යෝජනාව ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ඇති බව අදාල නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමාසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පදනම් වනුයේ ලබන 20 වන දින මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත අදාල වාර්තාව මත බව රජය පවසා සිටියි.

එම නිසා සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව රජය පෙන්වා දෙනු ලබයි.

අදාල කල් ඉල්ලා සිටීමේ යෝජනාව එක්සත් රාජධානිය සමඟ ශ්‍රී ලංකාව අත්වැල් බැඳ ගනිමින් සම අනුග්‍රාහිකත්වය යටතේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමට එරෙහිව නැගෙන චෝදනා මහජනතාව නොමඟ යැවීමටත් අයුතු ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට කරන්නා වූ ව්‍යාපාරයේම කොටසක් බව රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම ක්‍රියාමාර්ගය මඟින් සංහිදියාව, සාමය ගොඩනැන්වීම සහ ජාතික ගැටළුවට පිළියම් යෙදීම පිණීස ශ්‍රී ලංකා රජයට වැඩිපුර කාලය ඉල්ලා සිටීමක් විනා වෙන යමක් නොවන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ 40 වන මානව හිමිකම් සැසිවාරයට තමාගේ නියෝජිතයින් තිදෙනෙකු සහභාගී කරවීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) ප්‍රකාශ කළා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් වන මහින්ද සමරසිංහ, ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් යන මහත්වරුන් සහභාගීවිමට නියමිතය.

Read more

Local News