මත්ද්‍රව්‍ය මැඩලීමට ත්‍රිවිධ හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Share

මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබේ. ඒ අනුව ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිවිධ හමුදාවේ එම වැඩපිළිවෙළ පිළිබඳ ව යුධ හමුදාපති, නාවික හමුදාපති හා ගුවන් හමුදාපති වරු අද(08) දින ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූහ.

අප රටේ ප්‍රබල සෞඛ්‍ය හා සමාජීය ගැටලුවක් බවට මත්ද්‍රව්‍ය භාවිතය පත් වී තිබේ. මෙරට අඩු ආදායම් ලාභීන් තම ආදායමෙන් 1/3ක් පමණ වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය සඳහා යි. එමෙන්ම සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ සෞඛ්‍ය අංශ තම මුදල් ප්‍රමාණයෙන් 22%ක් වියදම් කරන්නේ මත්‍ද්‍රව්‍ය, මත්ස්‍යසාර හා දුම්වැටිවලින් ඇති වී තිබෙන රෝගවලින් ජනතාව මුදවා ගැනීමට බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදී පැවසීය.

මෙම ප්‍රබල ගැටලුවෙන් රට මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ එක් වී විශාල කාර්යභාරයක් සිදු කරයි. ඒ අනුව ග්‍රාමීය මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ඇති කරමින්, ඒ සඳහා ස්වේච්ඡා සාමාජිකයන් බඳවා ගනිමින් ශ්‍රි ලංකා පොලීසියට හා විශේෂ කාර්ය බලකායට සහාය දක්වන බව ද සේනානායක මහතා තවදුරටත් පැවසීය.

සාගරය යොදා ගනිමින් මෙරටට විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාවද විශේෂ වැඩපිළිවෙළක් පවත්වා ගෙන යන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව 2018 වර්ෂයේදී නාවික හමුදාව අවස්ථා 41දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2113ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වර්ෂයේ සති 09ක කාලය තුළ අවස්ථා 21දී කිලෝ ග්‍රෑම් 684ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සිල්වා මහතා තවදුරටත් පැවසීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කර ගනිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හා වගාවන් පිළිබඳ තොරතුරු ලබා ගනී. ඒ අනුව නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට තොරතුරු ලබා දීමට අංශ දෙකක් ඔස්සේ මෙහෙයුම් සිදු කරන බවත් ඒම අංශ දෙක වන්නේ ගුවන් ආරක්ෂක මෙහෙයුම් හා භූමි ආරක්ෂක මෙහෙයුම් බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති ප්‍රකාශ කළේය.

Read more

Local News