ලෝක ග්ලෝකෝමා සතිය ආරම්භ වෙයි

Share

ලෝක ග්ලෝකෝමා දිනය නිමිති කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙවරත් ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ(11) උදෑසන ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත් වුණි.

ලෝකයේ අන්ධ භාවයට පත් වන රෝග අතුරින් දෙවන රෝගය ලෙස සැලකෙන්නේ ග්ලෝකෝමාවයි. මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 10 -16 දක්වා යෙදී ඇත. ශ්‍රී ලාංකීය ජනතාව මෙම රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සහ කල් ඇතිව හඳුනාගෙන අක්ෂි සායන වලට යොමු කරමින් ප්‍රතිකාර වලට යොමු කරවීම මෙවැනි සතියක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. ජනතාව මෙම රෝගය කල් ඇතිව හඳුනාගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් ග්ලුකෝමාව වළක්වා ගැනීමට හැකි අතර ඒ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මෙලෙස ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.

“සාමාන්‍යයෙන් මෙය අහම්බෙන් හඳුනාගන්නා රෝගයක්. නමුත් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ අවධානම වැඩියි. ඔබත් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයෙක් නම් මෙම පරීක්ෂාව සිදු කර ගන්න කියල අපි ඉල්ලනවා. ග්ලෝකෝමා තත්ත්වය තියනවද බලන්න විශාල පහසුකම් අවශ්‍ය නැහැ. දැනට මෙය රෝහල් මට්ටමින් සිදු කෙරෙනව. ඉදිරියේදී සුව දිවි සායන තුළ මෙම සායනය පවත්වමින් මෙම රෝගය හඳුනාගැනීම ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්ෂ 2014 දී මෙරට අන්ධභාවයෙන් පෙළෙන්නන් මිලියන 1.7ක් බවයි. නමුත් මෙය පූර්ණ අන්ධ භාවයෙන් පෙළෙන්නන් නොවන බවත් නැවතත් එවැනි සමීක්ෂණයක අවශ්‍යතාවය මතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් පැවසුවේ වසර 2020 වන විට ලෝකයේ මෙම රෝගයට ගොදුරු වීමේ හැකියාව ඇති ජනගහණය මිලියන 76 ක් පමණ විය හැකි බවයි. වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමග ග්ලෝකෝමා රෝගින්ගේ ප්‍රමාණයද වැඩි වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News