විදේශයේ රැකියා කරන ශ්‍රමිකයන්ට රජයෙන් සියලු ආධාර

Share

ඉදිරියේදී නව රැකියා මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා වෙත යොමුවීමට අවස්ථාව උදාකර දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශ රැකියාවන්හි නිරත වන දෙමාපියන්ගේ දූ දරුවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙ බව පැවසීය.

එමෙන්ම  මැදපෙරදිගට පමණක් නොව ජපානය, ඇමරිකාව වැනි දියුණු රටවල රැකියාවලට ද යොමු කරවීමට අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

විදේශ රැකියා සඳහා පුහුණු කිරීම් කරන ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට තමන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබාදුන් බවත්, වර්තමාන රජය යටතේ විදෙස් ශ්‍රමිකයන්ට සහ එම පවුල්වලට ලබාදෙන ආධාර උපකාර වැඩි කිරීමට පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියා සඳහා නියුතුව සිටින දෙමව්පියන්ගේ දූදරුවන්ට මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙන අතර, බස්නාහිර පළාතේ දරුවන් 773 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ඊයේ දින සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,

(“අතීතයේ විදේශ රැකියා සඳහා පිටත්ව ගියේ නුපුහුණු ශ්‍රමිකයින්. ඔවුන් බොහෝමයක් ගියේ මැද පෙරදිග රටවල්වලටයි. ඒ ආකාරයට විදේශයන් වෙත පිටත්ව ගොස් රැකියා කර ආදායම් ලබාගැනීම සතුටට කරුණක්. එම නිසා ඉදිරියේදී විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට අවශ්‍ය අධ්‍යාපනය ශිල්ප දැනුම ලබාදීමට කටයුතු කරනවා.

එවිට විදෙස් ශ්‍රමිකයන්ට වැඩි වැඩියෙන් ආදායම් ඉපැයීමට හැකි වෙනවා.

නව රැකියා අවස්ථා ඇති කරමින් ජපානය ඇමරිකාව වැනි රටවල්වල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරමින් ඒ හරහා රටට ලැබෙන ආදායම, දැනුම, පළපුරුද්ද දියුණු කර ගත යුතුයි.

විදෙස් ගතව රැකියා කරන ශ්‍රමිකයන්ට රජය විසින් ලබාදිය හැකි සියලූ ආධාර උපකාර ලබාදීමට අප පියවර ගන්නවා යැයි”) වැඩිදුරටත් පැවසුවා.

Read more

Local News