ජපානයේ රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ ආයතනයක් වටලයි

Share

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් ඊයේ(14) දින වැටලීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වැටලීම සිදුකර ඇත.

ඒ අනුව එම ආයතනයේ නීති විරෝධිව මුදල් රැස් කරමින් හා ජපන් රැකියා සඳහා බදවාගැනීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙම තැනැත්තන් පොළොන්නරුව හා තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍ර 13, ජපන් රැකියා සඳහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, ගුවන් ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, එම ආකාරයෙන් මුදල් ලබාදුන් පුද්ගලයින් කිහිප දෙනෙකුද විමර්ශන නිළධාරීන් හමුවේ පෙනී සිට ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාද විමර්ශන නිළධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

Read more

Local News