ත්‍රිපිටකාභිවන්දනා සතියේ විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක්

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා ත්‍රිපිටකාභිවන්දනා සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සෙසු අමාත්‍යාංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් කටයුතු නොකළ බවත්, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්මල චින්තනයට අනුව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් පසුව ලෝක උරුමයක් බවට පත් කිරීමේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාර්තු 17 වන දිනය තුළදී දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ආරම්භ කරන බවත්, එක් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 33 වැයවන බව කී අමාත්‍යවරයා මෙම දහම් පාසල් ශාලාවල ඉදිකිරීම් කටයුතු මාස තුනකදී අවසන් කර සසුනට පුජා කිරීමට කටයුතු කරන බවද පැවැසීය.