“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ

Share

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද(16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ සමග ඒකාබද්ධව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබෙන අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය තුළ ප.ව 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත් වේ. මේ අතර “ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශන ද දිවයින පුරා ස්ථාන කිහිපයක දී සංවිධාන කර ඇත.

Read more

Local News