ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ මාධ්‍යය අමතමින් පවසා සිටියේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සෙසු අමාත්‍යංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කර ඇත.

එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ය.

ත්‍රිපිටකාභිවන්දනා” සතිය තුළ ප.ව 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත් වේ. මේ අතර “ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශන ද දිවයින පුරා ස්ථාන කිහිපයක දී සංවිධාන කර ඇත.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ආරම්භ කෙරෙන මාර්තු 16 වනදා පොලිස් වසම් මට්ටමින් දීප ව්‍යාප්තව පිණ්ඩපාත දානමය පිංකම් හා විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කරගෙන විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

මාර්තු 17 වන ඉරිදා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත අතර මෙම සියලු ඉදිකිරීම් මාස 03 කින් අවසන් කර සිසු අයිතියට පවරාදීමට නියමිතය. මාර්තු 18 වන සඳුදා දීප ව්‍යාප්තව පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර මාර්තු 19 වන අඟහරුවාදා රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

මාර්තු 20වන බදදා පොහෝ දින “ජනපති සදහම් යාත්‍රා” වැඩසටහන පැවැත්වෙන අතර එදින දිවයින පුරා විහාරස්ථානවල ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මාර්තු 21 වන බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලය සහ සියලුම ආණ්ඩුකාර කාර්යල එක්ව දානමය වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර, මාර්තු 22 වන සිකුරාදා සියලුම රාජ්‍ය ආයතනවල දානමය පුණ්‍ය කර්ම ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.

මාර්තු 23 වන සෙනසුරාදා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයෙන් අනතුරුව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමාවට පත් කෙරේ.

Read more

Local News