තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීය යුතු බව ජනපති කියයි

Share

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ,ත්‍රිපිටකාභිවන්දනා, සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උතුම් බෞද්ධ දර්ශනය විවිධ ලෙස අර්ථකතනය කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින අතර ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී තමන්ට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් රටේ නායකයා ලෙස මෙන් ම බෞද්ධයෙකු ලෙස බෞද්ධ දර්ශනයේ ආරක්ෂාව හා එය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව අවධාරණය කළේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය, නැවකඩ, උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (17) පස්වරුවේ එක්වෙමිනි.

උඩුබද්දාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නැවකඩ ගම්මානයේ මුදුන්මල්කඩ ලෙසින් හැඳින්වෙන නැවකඩ මහවැව අභියස පිහිටි සෙල්ගිරි විහාරය ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත පුණ්‍ය භූමියකි.

ස්වභාවික කළුගලින් නිමකර ඇති මෙම අලංකාරවත් සෙල් පිළිම වහන්සේ අඩි 56ක උසින් යුතු ය.

ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

අභිනව ප්‍රතිමා වහන්සේ වෙත පළමු මල් පූජාව සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

විහාරවාසී පූජ්‍ය ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිවරයා වෙත අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් පිළිගැන්වීය.

අභිනව බුද්ධ ප්‍රතිමාවහන්සේ නිර්මාණය කළ දේශබන්දු සී.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා වෙත ද ජනාධිපතිවරයා අතින් සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, විහාරාධිකාරි පූජ්‍ය ආලංකුලමේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News