ජොන්ස්ටන්ට එරෙහි නඩු හතරකින් නිදහස් වෙයි

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට ද නියම කළේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනුකර තිබුණි.