96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එතුමා අවධාරණය කරන්නේ සනත් ජයසූරියට එරෙහිව පැනවූ තරග තහනම් ඉවත් කර ගැනීම ඉක්මනින්ම කළ යුතු බවයි.
එතුමා මේ බව කියා සිටියේ අද (20) කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ පැවැති ගමේ පන්සල ගමට සවියක් ප්‍රජාසත්කාරක වැඩසටහනට එක් වෙමිනි.
“දුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්. සනත් ජයසූරිය කියන්නේ අපේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්. මේ රටට විශාල ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයෙක්.
ඔහු මෙහෙම වැටෙන කොට අපේ ක්‍රිකට් පරිපාලනය කථා කරන්නේ නැහැ. ක්‍රිකට් පරිපාලනය බලන් ඉන්නවා. නමුත් ක්‍රිකට් පරිපාලනය කරන්න ඕන එය නෙමෙයි. සනත් ජයසූරිය වෙනුවෙන් අපේ ක්‍රිකට් පරිපාලනය පෙනී සිටින්න ඕන.
නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒ ඇයි දන්නවද ? මේවායේ අගමුල සොයන්න ගියොත් මේ ක්‍රිකට් පරිපාලනයේ සිටින ඔක්කොම සූදූකාරයෝ අහු වෙනවා.
මං හිතන්නේ සනත් ජයසූරියගේ ප්‍රශ්නය අතට ගැනීමේ වගකීම ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. සනත්ට ඔය විදිහට දඩුවම් කරලා පැත්තකට දැම්ම එකට මම නම් එකඟ වෙන්නේ නැහැ. ක්‍රිඩා ඇමතිවරයා එකඟ වෙන්න ඕනේත් නැහැ.
හැබැයි තරග පාවාදීම් ගැන හොයන්න ඇතුළටම යන්න. එතොකට ඔට්ටු තැබීම් මෙහෙයවන සැබෑ පුද්ගලයෝ සොයා ගන්න පුළුවන්.”