නාමල්ට රට යන්න අවසර දෙයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට මහාධිකරණය මගින් යම් විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් පනවා තිබේ නම් මෙම නියෝගය තුළින් ඊට බලපෑමක් සිදු නොවන බවයි.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බැවින් විදේශගත වීම වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ඉන්පසුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එක්.ආර්. consultancy නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Read more

Local News