පොහොට්ටුවේ ප්‍රශ්නයක් ගැන ගයන්ත කියයි

39

එක්සත් ජාතික පක්ෂයේ  ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බවත් ජනපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත්  මන්ත්‍රී කණ්ඩායමත් එය තීරණය කරන බවත් ප්‍රශ්නයක් පවතින්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ අද (25) අක්මීමන දී පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය  හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එක්සත්  ජාතික පක්ෂය හැමදාම ඕනෑම වෙලාවක  ඡන්දෙට සූදානම් පක්ෂයක්.   විශේෂයෙන්ම මේ වර්ෂයේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්න සිද්ධ වෙනවා.  එතකොට ජනාධිපතිවරණයටත් ඕනෑම අවස්ථාවක එන ඕනෑම මැතිවරණයකට අපි සූදානමින් ඉන්නවා.

හැමදාමත් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේදී  එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන පිළිවෙතක්  තියෙනවා.  ජේ. ආර් ජයවර්ධන මහතාගේ,  ප්‍රේමදාස  මහතාගේ කාලේ ඉඳලා  අද දක්වා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන ක්‍රමවේදයක් තියෙනවා.

මැතිවරණය නම් කළාට පස්සේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත්  මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා සුපුරුදු පරිදි වෙනදා වගේම  අපි ජයග්‍රාහී අපේක්ෂකයා නම් කරනවා.

අපිට අපේක්ෂකයෝ පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. අද පොහොට්ටුවට තමයි අපේක්ෂකයා පිළිබඳව ගැටලු මතුවෙලා තියෙන්නේ. එක් එක්කෙනා එක එක මත ප්‍රකාශ කරනවා. අරයා එනවා නම් මෙහෙමයි, මෙයා එනවා නම් මෙහෙමයි  කියලා. ඒ පක්ෂය ඇතුළේ පිපිරීමක් අද පෙනෙන්න තියෙනවා.  අපි ඔක්කොම එක පෙරමුණක් හැටියට ඉදිරියේදී එන ඕනෑම මැතිවරණ ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා” යැයි ඔහු පැවසිය.