පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කිරිමට උපදෙස්

Share

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිල දී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී ඊයේ (25) පෙරවරුවේ විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

( “මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන විට එක් පිළිකා රෝගීයෙකු සදහා ප්‍රතිකාර සීමාව තිබුනේ රුපියල් ලක්ෂ 15 ක් එම සීමාව මම ඉවත් කළා.

මේ වනවිට එක් පිළිකා රෝගියෙක් සඳහා රුපියල්  ලක්ෂ 450 ක් දක්වා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඉන් පසු මම පිළිකා ඖෂධ මිල අඩු කිරීමට තීරණය කළා. එක්තරා බහුජාතික සමාගමක් විසින් ආනයනය කරන පියයුරු පිළිකා එන්නතක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී ගත්තේ රුපියල් දෙලක්ෂ අසූපන්දහසකටයි.

එම එන්නත වෙනුවට රුසියාවෙන් ආනයනය කරන ලද තවත් එන්නතක් රුපියල් එක්ලක්ෂ හතලිස්හතර දහසකට අපි මිලදී ගත්තා.

ඉන්පසු ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇමරිකාවේ එෆ්.ඩී ආයතනය පිළිගත් ඖෂධයක් රුපියල් 47,000 කට මිල දී ගත්තා. ඒ ටෙන්ඩර් පටිපාටියට අනුවයි.

පිළිකා ඖෂධ වලින් සියයට 95 ක්ම මිල දී ගන්නේ රජය විසින්. එම නිසා පිළිකා ඖෂධ ටෙන්ඩර් සදහා ඉදිරිපත් කළ හැකි  උපරිම මිල රුපියල් 95,000 දක්වා අඩු කළා.

එලෙස මිල අඩු කිරීම නිසා රජය ලැබූ ලාභය රුපියල් බිලියන 2 ක් පමණ වෙනවා. බහුජාතික සමාගම විසින් ඉතා අධික මිලකට ගෙන්වන ලද පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කළ විට ඔවුන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ද මට විරුද්ධව කථා කළා. නමුත් අධිකරණයේ දී අපි ජයග්‍රහණය කළා. අධිකරණය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අවවාද කළා.

මේ වනවිට නව පියයුරු පිළිකා ඖෂධයක් වෙළෙදපොලට ඉදිරිපත් කර තිබෙනවා. එහි මිල රුපියල් ලක්ෂ පහහමාරක්. මෙම එන්නත පිළිබදව මට සැකයක් ආවා.

ඉන් පසු මම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට කථා කළා. සභාපතිවරයා ප්‍රකාශ කළා රුපියල් දෙලක්ෂ අසූපන්දහසක මුදලකට පියයුරු පිළිකා එන්නත් ලබාදුන් බහුජාතික සමාගම විසින් ම මෙම එන්නත ද නිෂ්පාදනය කර වෙළෙදපොලට මුදා හැර ඇති බවයි.

පෙර එන්නතට වඩා සුළු වෙනසක් සිදු කර තිබෙනවා. හැබැයි වෙන නමකින් තමයි වෙළෙදපොලට නිකුත් කර තිබෙන්නේ. අපේ රටේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට එම එන්නත ලියා දෙනවා. මෙම එන්නත ලියාපදිංචි කර දින ගණනාවක් වත් ගත වී නැහැ. අපේ රටේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට ද මෙම සමාගමේ සහයෝගය ලැබී තිබෙනවා. ඒ පිළිබද තොරතුරු මා සතුයි. අපිව විවේචනය කරන්න සමාගම විසින් මුදල් ලබාදෙනවා.

මම සොයා බලන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම එන්නත් 400 ක් මිලදී අරගෙන. මම සභාපතිවරයාට නියෝග කළා පිළිකා ඖෂධ මිල අඩු කිරීමේ තීරණයක සිටිය දී රුපියල් ලක්ෂ පහහමාරකට එන්නත් මිල දී ගත්තේ ඇයි ද කියලා. ඒ අනුව මම නියෝග කළා එම එන්නත් මිල දී ගැනීම නතර කරන්න කියලා. ටෙන්ඩර් 02 ක් ඉදිරිපත් කර තමයි මෙම එන්නත් 400 මිල දී අරගෙන තිබෙන්නේ.

එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූ පාඩුව මිලියන 50 ක් පමණ වෙනවා මෙම එන්නතට සමාන තවත් එන්නත් ඉතා අඩු මුදලට වෙළෙදපොලේ තිබෙනවා.”

“මම ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ.

මෙම ඖෂධ ජාවාරම් මගින් මුදල් හම්බ කළ අයට විශාල පාඩුවක්. ඇතැම් වෛද්‍යවරුන්ට  සමාගම් මුදල් ලබාදෙනවා. තවත් වෛද්‍යවරු පිරිසක් මිල මුදල් වලට වඩා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් සෞඛ්‍ය සේවා ඉටු කරනවා. අහිංසක මිනිසුන්ගේ මුදල් සූරාකන පිරිසක් තමයි මෙවැනි ජාවාරම් වල නිරත වන්නේ. නිරෝගීභාවය පරම ලාභයයි. රටක් නිරෝගීමත් කිරීමෙන් සංවර්ධනය පහසු වෙනවා. මුදල් වලට නොව ප්‍රතිපත්තිවලට තීන්දු තීරණ ගත යුතුයි.”

“වත්මන් රජය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කළත්, ඒවා බොරු ප්‍රචාර විතරයි. අපි ඖෂධ නිෂ්පාදනයත් ආරම්භ කර තිබෙනවා. ඖෂධ වෙළෙද පොල යුරෝපය, ඇමරිකාව වැනි රටවලට සමාන තත්ත්වයට පත් කරනවා. එම රටවල එක ඖෂධයකට වෙළෙදනාම 04 ක් 05 ක් පමණ වූ ඖෂධ පමණයි තිබෙන්නේ. අපේ රටේ විවිධ වෙළෙද නාම වලින් ඖෂධ වැඩි වශයෙන් තිබෙනවා.”) යැයි පැවසීය.

Read more

Local News