ගෝඨාගේ නඩුවේ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මැයි මස 07 වනදා

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය නීති විරෝධී යැයි පවසමින් විත්තිකරුවන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මැයි මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(28) නියෝග කළේය.

සම්පත් අභයකෝන්(සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙම නඩුව ඉකුත් දා කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හැර සෙසු විත්තිකරුවන් කිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින අනිල් ද සිල්වා සහ කාලිංග ඉන්දතිස්ස යන ජනාධිපති නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ චෝදනා ගොනු කර ඇති ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයට පටහැනි බව ප්‍රකාශ තිබුණි.

මෙම චෝදනා විභාග කළොත් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදු වන බවයි ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

එම නිසා මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව තුළින් ජනාධිපති නීතිඥවරු ඉල්ලීම් කළේය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙවැනි මූලික විරෝධතාවයන් විත්තිය විසින් ගෙන එනු ලබන්නේ මෙම නඩු විභාගය පමා කිරීමේ අරමුණින් බවට චෝදනා කර සිටියා.

මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුකූලව බවත් ඒ තුළ කිසිදු දෝෂයක් නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

දෙපාර්ශවයේම කරුණු වලට සවන් දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මැයි මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

පසුගිය රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News