ජනපතිගේ කණ්ඩායම ගන්නා තීරණය තීරණාත්මකයි – බිමල්

Share

අයවැය ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම හෝ තීරණය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම ගන්නා තීන්දුව අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

පූඩලුඔය ප්‍රදේශයේදී මාධ්‍ය වේදින් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනවල කටයුතුවලට යම් ආකාරයේ බාධාවක් මේ හරහා සිදුවිය හැකි බවයි.

ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් මෛත්‍රී-රනිල් ආණ්ඩු විසින් ගෙන එන ලැබූ සියලූම අයවැය සඳහා විරුද්ධව ඡන්දය ලබා දී ඇති බවත්, පසුගිය දෙවැනි වර කියවීමේ අවස්ථාවේ දී අයවැය පරාජයට පත් කිරීමට නොහැකි වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන කණ්ඩායමේ මන්ත්‍රීවරු 20 ගණනක් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණීම බව ද බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ හේතුව මත එක්සත් ජාතික පක්ෂයට අයවැය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබූණු බවත් සඳහන් කළ ඒ මහතා, එක්සත් ජාතික පක්ෂය යනු සම්පූර්ණයෙන්ම ආරාජික වු පක්ෂයක් බව ද කියා සිටියේය.

එජාපයේ සිටින මන්ත්‍රීවරුන්ට හම්බ කරන් කන එක ඇරුණහම අඩුම තරමින් තමන්ගේ පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දීමට හෝ පාර්ලිමේන්තුවට පැමිණිමේ අවශ්‍යතාවයක් නොමැති බව ද බිමල් රත්නායක මහතා පැවසීය.

එනිසා අමාත්‍යාංශ දෙකක අයවැය පරාජයට පත්වු බවත්, නැවත අප්‍රේල් මස 5 වන දින ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දය අයවැය පරාජය කිරීමට යොදා ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම ගන්නා තීරණය එදිනට තීරණාත්මක වන බව ද එවිට අමාත්‍යාංශ දෙක පමණක් නොව අයවැය සියලුම විෂයන් පරාජයට පත්වන බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාදාමය තුළ යම් බලපෑමක් පළාත් පාලන ආයතනවල සේවක සේවිකාවන්ට හා කටයුතුවලට එල්ල විය හැකි බව ද ඔහු පැවසීය.

Read more

Local News