විපක්ෂය පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්න බව කිරිඇල්ල කියයි

Share

එකඟතාවය කඩකරමින් විපක්ෂය ඡන්ද විමසීමකට ගිය බව පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (01)  පාර්ලිමේන්තුවේදී අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර පසු ගිය 28වනදා අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පරාජය වීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අතරතුරය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

(“පක්ෂනායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් මෙම තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ.

ඡන්ද විමසීමක් සිදු නොකරන බවට අපි එකඟතාවයකට පත් වුණා.

එකගතාවය කැඩුවේ මොවුන්. ඔක්තෝම්බර් 26 වෙනිදා මෙන් මොවුන් පිටිපස්සෙන් පැමිණ පිහියෙන් ඇන්නා.

මේ තත්ත්වය අලූත් දෙයක් නෙමෙයි.

මම මේ පාර්ලිමේන්තුවේ වසර තිහක් ඉන්නවා. මීට පෙර රතසිරි වික්‍රමනායක මහතාගේ වැය ශීර්ෂය පරාජය වුණා.

තොන්ඩමන් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයත් පරාජයවුණා.

මෙය නිවැරැදි කිරීමට ක්‍රම තිබෙනවා. මෙතන තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මහත්වරුන්නම් පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය ඉෂ්ඨ කළ යුතු වෙනවා.

වචනයක් කිව්වා නම් එය නිසි ලෙස ඉටු කළ යුතුයි.

මොවුන් ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා ඡන්දය ඉල්ලූවා.”)  යැයි පැවසීය.

Read more

Local News