ජල ඉල්ලුම 20%කින් ඉහළට

Share

ජල මූලාශ්‍රවල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවත්, එහෙත් ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් තිබෙන බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ජල සම්පාදන මණ්ඩලය විසින් ජලය ලබාගනු ලබන ජල මූලාශ්‍රවල ජල මට්ටමවියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බවත්, මේ නිසා යම්යම් ප්‍රදේශවල ජල සැපයුම් සීමා කර තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.

එමෙන්ම පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික ලෙස ජලය භාවිත කිරීම හේතුවෙන් ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

පවතින තත්ත්වය තුළ අඛණ්ඩව ජලය ලබාදීමට නම්, සියලු නළ ජලය භාවිත කරන්නන් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ඉල්ලා සිටින බවද දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.

වාහන සේදීමට, ගෙවතු වගාවලට නළ ජලය භාවිත නොකරන ලෙසත්, ලබාදෙන සෑම ජල බිඳුවකින්ම ප්‍රයෝජන ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අලුතින් ජල සැපයුම ලබාදීමට කටයුතු නොකරන බවද සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News