මීතොටමුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් – ඇමැති මංගල සමරවීර

39

ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හෙවත් මැදමුලන බද්ද කිසිසේත් ජනතාව මත පැටවීමට කටයුතු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10) පැවැසීය. පසුගිය රජය මීතොටමුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් උරුම කරදී ඇති බැවින් 2018 වසරේ පමණක් රුපියල් බිලියන 1970ක ණයක් ගෙවිය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

ඒ අනුව රටේ සංවර්ධනය, ආයෝජනය අඩු නොකර බැංකු මඟින් සිදු කරන සියලු ගනු-දෙනු සඳහා රුපියල් 1000කට ශත විස්සක් වන අනුපාතයක් නැතහොත් දස දහසකට රුපියල් දෙක බැගින් විශේෂ බද්දක් අය කිරීමට යෝජනා කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

2018 අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත මේ විශේෂ බද්දේ බර ජනතාව මත නොපටවා එය බැංකු මඟින් අය කර ගැනීමට විශේෂ නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත්, බැංකු සඳහා ආදායම් බදු නිදහසක් ලබාදෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙරට බැංකු පාලනය මහ බැංකුව විසින් සිදුකර ඇති බැවින් එම ක්‍රියාවලිය නිවැරැදිව සිදුකළ හැකි බවත් පැවැසූ ඇමැතිවරයා සියලු අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙනම ඒකකයක් පිහිටුවන බවත් සඳහන් කළේය.

රුපියල් බිලියන 7000ක ණය ආපසු ගෙවීමට සිදුව ඇති බැවින් ඉදිරි වසර තුන ඉතා අසීරු බවත් මේ විශේෂ බද්ද ඉදිරි වසර තුනක කාලයකට පමණක් සීමා වන බවත් රටේ අධ්‍යාපනයට හා තරුණ තරුණියන් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර නොවූ විරු අවධානයක් මෙවර අය-වැයෙන් යොමුකර ඇති බව ද අැමතිවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාලවල දොරටුව ඉදිරියට ඇවිත් ඇතුළුවීමට නොහැකිව වාර්ෂිකව නතරවන තරුණ තරුණියන්ට ඉදිරියට යාහැකි පරිදි රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙවර අය-වැය මඟින් මාවත විවර කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් තිස්දහසක් පමණයි විශ්වවිද්‍යාලවලට ඇතුළු වන්නෙ. ඒ ඔවුන්ගේ වරද නිසා නෙවෙයි. ක්‍රමවේදයේ වරද නිසයි. ඒ නිසා අපි ක්‍රමවේදය වෙනස් කරනවා. ජාත්‍යන්තර මට්ටමේ කාර්මික පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අපි කටයුතු කරනවා.

මධ්‍යසාර, හොර සුරා, කසිප්පු හා වල් රා හෙවත් කෘත්‍රිම රා රටට ප්‍රශ්න ඇති කර ඇති බැවින් සුරා බද්දක් පැනවීමට යෝජනා කළා.

මේ රටේ මධ්‍යසාර භාවිත කරන්නන්ගෙන් සියයට අසූ හතරක් සැර මධ්‍යසාර භාවිත කරනවා. සැර අඩු මත්පැන් භාවිත කරන්නේ සියයට දහතුනක් පමණයි. නමුත් ලෝකයේ අනෙක් රටවල ඒකේ අනිත් පැත්තයි වෙන්නෙ. අපි කසිප්පු කාරයන්ගෙන් රට බේරාගත යුතුයි. මේ අනුව මධ්‍යසාර සැර අනුව බදූ සූත්‍රයක් මත බදු අය කිරීම සිදු කරනවා. පානීය නොවන මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 15ක සුරා බද්දක් පැනවීමටත් කටයුතු කරනවා.

මේ බදු ක්‍රමයෙන් බියර්වල බදු අඩු වුවත් බීර හිතූ හිතූ ආකාර‍යෙන් තැන තැන තියා විකිණීමේ පරිසරයක් උද්ගත වෙන්නෙ නැහැ. මේ සුත්‍රයට අනුව පොල් අරක්කු බෝතලයක මිල රු. 20කින් වැඩිවෙයි. ශ්‍රී ලංකාවේ සාදන විස්කි රු. 125කින් අඩුවෙයි. වයින් බෝතලයක මිල රු. 50කින් වැඩි වෙයි. අඩු සැර බියර් රු.75කින් ද සැර බියර් රු.100කින් ද අඩුවෙයි.

අපේ රටේ පැරැණි මුතුන් මිත්තන්ගේ හැකියාවන් දක්ෂතාවන් යළිත්වරක් නූතන පරම්පරාවට ලබාදීම නීල හරිත අය-වැයේ අරමුණ වන්නේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ රන්වන් යුග තිබිලා තිබුණේ ලෝකය සමඟ සිටින අවස්ථාවක. ශ්‍රී ලංකාව ලෝකය සමඟ ගනු-දෙනු කළ රටක්. යළි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් තරුණ තරුණියන්ගේ හැකියාවට පණ දෙන්න ඕන. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාව කියන සංකල්පයේ අරමුණ, මහා පරිමාණ වෙළෙන්දාත්, කුඩා වෙළෙන්දාත්, නව නිපැයුම් කරන තරුණයා අරගෙන අඩු පොළියට ණය ලබාදීලා, මේ මහා යාන්ත්‍රණයේ දායකත්ව කොටස්කරුවන් බවට පත් කිරීම කළ යුතුයි.