දෙලක්ෂයකගේ ජීවිත බේරූ වතුර අම්මා ගේ කථාව

Share

මුළුමහත් රාජස්ථානයම වියළී ගොසිනි. නිල්ලක් පේන තෙක් මානයකවත් නැත. ගැමියන්ට බත සැපයූ කුඹුරු ඉරිතලා ගොස් ඇත. ගොවිතැන් කරන්නට තියා බොන්නට වතුර ටිකක්වත් ඉතිරිව නැත. ගංගා ඇළ දොළ පමණක් නොව ගැඹුරුම ළිං පවා හිඳී ගොස්ය. කළගෙඩි එක පිට එක හිස මත තියාගෙන බොන්නට වතුර පොදක් හොයන්නට හැතැප්ම ගණන් ඇවිද යන කාන්තාවන් සුලබ දසුනකි.

ගොවිතැන් කරන්නට වතුර නැති නිසා ගොවියෝ කුලී වැඩ සොයමින් දුර නගර කරා ගොසිනි. බොහෝ ගෙවල්වල දරුවන් හාමතිනි. හාමතින් නොනැවතී දරුවන් මෙන්ම වැඩිහිටියන් ද විජලනයෙන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙති.

මේ නියඟය රාජස්ථානයට අලූත් දෙයක් නොවේ. රාජස්ථානයේ හැම ගිම්හාන කාලයක්ම එහෙමය.

ඉන්දියාවේ ගම්බද පෙදෙස්වල මිනිසුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. හැම අවුරුද්දකම දයා විරහිතව කඩා වදින නියඟය ඔවුන්ගේ ජීවත්වීමේ මාර්ගය උදුරා ගනී. ඔවුන්ගේ ජීවිතවලට නිසි විසඳුමක් දෙන්නට නොසැලකිලිමත් පාලකයන්ට වුවමනාවක් නැත. දේශපාලකයෝ ඉඳහිටක ඇවිදින් නියං ආධාර දෙති. වතුර ටැංකි බෙදති. දවසකට දෙකකට වතාවක් නියගයෙන් වේලී ගිය ගම්වල බවුසරයකින් වතුර බෙදති.

නියඟයෙන්, දුප්පත්කමින් හා අසරණකමින් සදාකාලිකව වියැළී යන මේ ගම්මුන්ගේ ජීවිත ගැන ඔවුන් සිතුවේ නැත. එහෙත් ඒ ගැන සිතු එක් ගැහැණියක වූවාය. ඇය අම්ලා රුයියා ය.

රාජස්ථාන් වැසියන් විඳින දුක ගැන ඇය මුලින්ම කියැවූයේ පත්තරයකිනි. එය ඇයව කොතරම් කම්පාවට ලක් කළේ ද යත්, මුම්බායේ උන් ඇය එදිනම රාජස්ථාන් බලා යන්නට පිටත් වූවාය.

අම්ලා රාජස්ථානයේ ගම්මාන ගණනාවක ඇවිද්දාය. ඒ හැම ගමක්ම වාගේ දිය පොදක් නැති කමින් විශාලාවක් බවට පත්ව තිබිණ. ඔවුන් වෙනුවෙන් කළ හැකි දෙයක් වේ දැයි ඇය ඒ ගම්වල ඇවිදිමින් කල්පනා කළාය.

කල්පනා කරමින් ඇවිදිද්දී ඇය ඒ ගම්මානය වටා ඇති කඳුවැටි දුටුවාය. වැහි කාලයට ඒ කඳුවැටිවල උල්පත්වලින් ගලාගෙන එන වතුරෙන් ගැමියෝ ගොවිතැන් කරති. වැඩිමනත් ජලය ප‍්‍රයෝජනයකට නොගෙන ගලා යයි. ඒ ජලය එක්රැස් කරගන්න ක‍්‍රමවේදයක් නැත. පායන කාලයට මේ උල්පත් සිඳී යයි. මුළු කලාපයම එකම කාන්තාරයක් බවට පත් වෙයි. අම්ලා ඒ ගැන සිතුවාය.

මේ අපතේ යන වැසි ජලය ගම්මුන්ට ඉතිරි කර දෙන්නට ඇත්නම්… ඔවුන්ගේ ජීවිත මීට වඩා වෙනස් වනු ඇත.

ඇය තනිවම කළ යුතු දේ සැලසුම් කළාය. ඒ සැලසුම ක‍්‍රියාවට නංවන්නට වැඩ කරන්නට පටන් ගත්තාය. එහි මුල් පියවර වූයේ ඇය විසින් Aakar Charitable Trust නම් වූ පුණ්‍යාධාර පදනම පිහිටුවා ගැනීමයි.

අකාර් පුණ්‍යාධාර පදනමේ අය රාජස්ථානයේ නියඟයෙන් පීඩාවට පත් ගම්මාන වෙත ගියහ.

”අපි ආවේ ඔයගොල්ලන්ට නියං ආධාර දෙන්න නෙවෙයි… නියඟයට මුහුණ දෙන්න ක‍්‍රමවේදයක් හදලා දෙන්න…වැහි කාලයට වගේම පායන කාලයටත් ගොවිතැන් කරන්න විදිහක් හදලා දෙන්න… අපිට ඔයගොල්ලන්ගේ උදව් ඕන..” අකාර් පදනමේ අය ගම්මුන්ව තමන් කරන්නට යන දේ ගැන දැනුවත් කළහ.

ඔවුන්ගේ සැලැස්ම ඇසූ ගැමියෝ ඔවුන්ට උදව් කරන්නට එක පයින් කැමති වූහ.

මුලින්ම වැඩ ඇරඹුනේ දවුසා දිස්ත‍්‍රික්කයේ මන්ඩාවාරා ගම්මානයේය.

වැහි කාලයට කඳු වැටි අතරින් ගම්මානය මැදින් වැහි වතුරත්, උල්පත් වතුරත් ගලා යන පාරවල් ලකුණු කෙරිණ. ඒ දිය පාරවල් ගලා එන පහත් බිම්වල පොළොව කණිමින් විසල් ටැංකි නිර්මාණය කරගැනිණ. ඉන්පසු ඒ දිය අමුණු හරස් කරමින් වේලි බඳිනු ලැබිණ.

අකාර් පදනමෙන් පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරන ලද මුදල් මේ සඳහා වියදම් කෙරුණු අතර ගම්වල උන් කාන්තාවන් දරුවන් පවා මේ අමුණු තැනීමේ වැඩවලට ශ‍්‍රමය වැය කරමින් වැඩ කළහ.

අමුණු සාදා නිම වනවිට වැහි කාලය ද පටන්ගෙන තිබිණ. කඳුවැටි අතරින් ගලා ආ වැහි වතුර වෙනදා මෙන් අපතේ ගියේ නැත. මන්ඩාවාරා ගම්මානයේ ගැමියන් වෙනුවෙන් ඒ වැහි වතුර අමුණුවල නැවතුණේය.

ගොවිතැන් කරන්නට වතුර නැතිව පායන කාලයට ගම හැර ගිය ගැමියන් ද ගම්වලම නැවතුණෝය. අවුරුද්දට එක් කන්නයක් පමණක් වගා කර, ඉතිරි මාස ගණන කුලී වැඩ කරමින් දිවි ගෙවූ ගැමියෝ දැන් අවුරුද්දට කන්න තුනක් වගා කරති. තවදුරටත් ඔවුන්ගේ දරුවන් හාමතින් හෝ විජලනයෙන් පෙළෙන්නේ නැත.

මන්ඩාවාරා ගමට වූ වෙනස ගැන අවට ගම්වලට ද ආරංචි විය. ඒ ගම්වල මිනිසුන් ද අමුණු සාදන්නට පටන් ගත්හ. අකාර් පදනම ඒ හැම ගම්මානයකම අමුණු තැනීම්වලට මූලිකත්වය ගත්තේය..

1999 අවුරුද්දේ පටන් මේ දක්වා වූ දස වසර ඇතුළත අම්ලා රුයියාගේ අකාර් පදනමෙන් රාජස්ථාන් ප‍්‍රාන්තයේ ගම්මාන 156 ක අමුුණු 250 ක් සාදා ඇති අතර ඒ සදහා ඉන්දියානු රුපියල් කෝටි පන්සීයකට ආසන්න මුදලක් මේ වනවිට පදනම විසින් වැය කොට ඇත.

දැන් ඒ ගම්මාන 156 ම අවුරුද්දට කන්න තුනක් වගා කරන, සශ‍්‍රීක ගම්මානයන් ය. ගැමියන්ගේ ආදායම තුන් ගුණයකින් ඉහළ ගොසිනි… සිය දහස් ගණනකගේ ජීවිත වෙනස් වී ඇත.

තමන්ගේ නිසරු ගම්මාන නිල්ලෙන් පුරවා වියළීගිය ජීවිතවලට ප‍්‍රාණය දුන් අම්ලාව දැන් රාජස්ථානයේ ගැමියන් හඳුන්වන්නේ ”වතුර අම්මා” යනුවෙන් ඔවුන්ම ආදරයෙන් තනාගත් ගෞරව නාමයකිනි.

Read more

Local News