විපක්ෂයට එපා වු දෙයක් ගැන අගමැති කියයි

Share

තමන් යටතේ පවතින නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මඟින් කිසිදු සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්ෂය, එම ආයතන ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (02) මහරගම නගරයේ පැවැති ජනහමුවක දී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් රටේ බලය ලබාගත් නගර සභා හා ප්‍රාදේශීය සභා මඟින් තම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ ද අද වන විට ඒ අපේක්ෂාවන් බිඳවැටී කිසිදු මහජන සේවාවක් ඉටුනොකරන ආයතන බවට එම ආයතන පත්ව තිබෙන බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හෝමාගම නාගරික උද්‍යානය විවෘත කිරීම, තාක්ෂණ නගර පිවිසුම් මාර්ගයට මුල්ගල තැබීම සහ මහරගම බහු මහල් රථාංගනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව මහරගම නගර සභාව ඉදිරිපිට පැවැති ජනහමුව අමතා මේ බව පැවසූ වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.

“මේ වනවිට ආණ්ඩුව නාගරික සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 60,000 – 70,000 ක් පමණ වැය කර තිබෙනවා.

21 වන ශත වර්ෂයේ දී කොළඹ නගරය, ඉන්දියන් සාගරයේ ප්‍රධානතම මහානගරය බවට පත් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රටේ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සියල්ල මෙම අමාත්‍යාශය සමඟ එකට එක්ව වැඩකටයුතු කළ යුතුයි.

එලෙස වැඩ නොකරනවා නම් ඒ පළාත් පාලන ආයතනවලට එරෙහිව ජනතාව පියවර ගනිවී. පසුගිය මැතිවරණයේ දී අලූතෙන් තේරී පත්වූ නගර සභා හා ප්‍රාදේශීය සභා මඟින් තම ප්‍රදේශවලට සේවයක් ඉටුවෙනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් තිබුණා.

නමුත් ඒ බලාපොරොත්තු අද බිඳවැටී තිබෙනවා.

මෙම ආයතන අද විපක්ෂයටත් එපා වී තිබෙනවා. ඒ නිසා එම ආයතන සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරමින් විපක්ෂය එම මුදල් කපා හැරියා.

මෙලෙස විපක්ෂයම තමන්ගේ ආයතන පළක් නැතැයි ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවෙන් අපට කළ යුතු දෙයක් නැහැ.”

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News