රටට අහිතකර ගිවිසුමක් අත්සන් කිරිමට රජයේ සූදානමක් – විමල්

Share

ශ්‍රි ලංකාව ආර්ථිකමය හා යුදමය වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට යටත් කෙරෙන ගිවිසුමක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) නැමති ආයතනය සමඟ එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියි.

රටට අහිතකර එම ගිවිසුම අත්සන් තැබීම නතර කිරීමට කළ හැකි සියල්ල ජනතාව සමඟ එක්ව සිදු කිරීමට සූදානම් බවත් විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි.

‘ශ්‍රී ලංකාවේ භූමිය විදේශිකයන් සතු කෙරෙන ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මෙහෙයුම පරදවමු’ යනුවෙන් පත්‍රිකාවක් බෙදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය 2016 දී තමයි පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ. ඇවිත් ඔවුන් අරලියගහ මන්දිරයේ තමන්ගේ නිල කාර්යාලය පවත්වාගෙන යමින් කටයුතු කරනවා. ඔවුන් ඒ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට අදාළව වාර්තාවක් සකසා තිබෙනවා. එහි තිබෙනවා, ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට, වෙළඳාමට, කම්කරු නීතිවලට ආදී වශයෙන් බොහෝ ක්‍ෂේත්‍රවලට අදාළව තම නිර්දේශයන්.

එහි තිබෙන එක් භයානක නිර්දේශයක් තමයි ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය ඉඩම් එක තැනකට එකතු කළ හැකි නීතිමය ප්‍රතිපාදන සහිත රාජ්‍ය ඉඩම් බැංකු පනතක් ගෙන ඒම. ඒ වගේම ඉඩම් (විශේෂ විධිවිධාන) පනතක් ගෙන ඒම. එමඟින් තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ අක්කර 50 සීමාව ඉවත් කෙරෙනවා. මෙම නිර්දේශ දෙක ක්‍රියාත්මක කළහොත්, එනම් මේ පනත් දෙක සම්මත වුවහොත් ආයෝජකයන්ට මේ රටින් අක්කර දහස් ගණනින් මිලදී ගත හැකියි.

‘චරිත රත්වත්තේ ලවා රනිල් ගිවිසුමට එකඟතාව පළ කරලා’

ඒ වගේම, එම වාර්තාවෙන් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් ඇතුළත්, කිලෝමීටර් 200ක දිගින් යුත් විශේෂ ආර්ථික කොරිඩෝවක් හදන්නත් නිර්දේශ කොට තිබෙනවා. ඒ ආර්ථික කොරිඩෝව තුළ ආයෝජන සිදු කරන විදේශිකයන්ට බල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ නීතිය නොවෙයි, ජාත්‍යන්තර නීතිය යන්නත් එම වාර්තාවේ අඩංගු තවත් නිර්දේශයක්. මේ සියල්ල ඇතුළත් ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සමඟ එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය බලාපොරොත්තු වෙනවා. එය දැනටමත් කෙටුම්පත් කර අවසන්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්නේ ඔහුගේ උපදේශකයකු වන චරිත රත්වත්තේ මහතායි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා මේ රටට අහිතකර ගිවිසුමට එකඟත්වය පළ කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය යම් රටකට එවන්නේ නිකම් නොවෙයි. ඒ රට යටත් කරගන්නයි, අත්පත් කරගන්නයි. ඒ නිසා අපි මේ රටට අහිතකර ගිවිසුම අත්සන් තැබීමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට තීරණය කළා. ජාතික නිදහස් පෙරමුණ හැටියට මේ ගිවිසුම අත්සන් තැබීම නතර කිරීමට ගත හැකි සියලු පියවර ගන්නවා”

මෙම අවස්ථාවට ජානිපෙ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ, අධ්‍යාපන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු ජානිපෙ මහජන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

Read more

Local News