මහපොළ ශිෂ්‍යාධාරය සිසුන්ට සෘජුවම ලබාදෙන්න චක්‍රලේඛයක්

Share

මෙම මස සිට ‍මහපොළ ශිෂ්‍යාධාරය මහපොළ භාරකාර අරමුදල හරහා විශ්ව විද්‍යාල සිසුන්ට සෘජුවම ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ප්‍රමාදයකින් තොරව මහපොළ ශිෂ්‍යාධාරය සිසුන්ට ලබාදීමේ අරමුණීන් මෙම පියවර ගත් බව මහපොළ ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේය.

මීට පෙර මහපොළ ශිෂ්‍යාධාරය, විශ්ව විද්‍යාල හරහා සිසුන්ට ලබාදීම සිදු කෙරුනු අතර ශිෂ්‍යාධාරය සඳහා සුදුසුකම් ලබන සිසුන්ගේ අත්සන් ලේඛනයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යැවීමෙන් අනතුරුව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විශ්ව විද්‍යාලය වෙත යොමු කිරීම එහිදී සිදු කෙරුණි.

කෙසේවෙතත් නව චක්‍රලේඛයට අනුව මහපොළ ශිෂ්‍යාධාරය සිසුන්ගේ බැංකු ගිණුමට සෘජුවම බැරවන අතර එස්.එම්.එස් පණිවුඩයක් හරහා ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරෙන බව ද සඳහන්ය.

ඒ අනුව මෙම මාසය සඳහා වන මහපොළ ශිෂ්‍යාධාරය ලබන මස 15 වන දින වන විට විශ්ව විද්‍යාල සිසුන්ට හිමිවන බව පරාක්‍රම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News