අතුරු තහනමෙන් පසු සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 278 කට පත්වීම්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍ය නිලධාරීන්ට වසරකට සීමාවාසික වෛද්‍ය පත්වීම් අවස්ථා දෙකක දී ලබාදෙයි.

දේශීය වෛද්‍ය පීඨ සහ අනුමැතිය ලත් විදේශීය වෛද්‍ය පීඨ වලින් උපාධිය ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වීමෙන් පසු ප්‍රධාන කණ්ඩායම සහ ඌණ සමාර්ථ කණ්ඩායම ලෙස පත්වීම් ලබාදෙයි.

කෙසේ වුවද පසුගිය කාලයේ සයිටම් වෛද්‍ය පීඨය පිළිබඳ ගැටලුව හේතුවෙන් 2018 නොවැම්බර් වන විට දේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි කණ්ඩායමක් නොමැති විය.

මේ හේතුව නිසා රජයේ රෝහල්වල පැය 24 පුරාම සේවයේ යොදවන සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ගේ ඌණතාවයක් ඇති විය. ඒ හේතුවෙන් රෝහල්වල රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර ලබාදීම සඳහා ඒ වන විට සුදුසුකම් ලත් දේශීය සහ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගත් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද කණ්ඩායමකට සීමාවාසික වෛද්‍ය පත්වීම් පසුගිය පෙබරවාරි මාසයේ දී ලබාදීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැති කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම පත්වීම් ලබා නොදෙන ලෙස අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් පත්වීම් ලබාදීම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය මගින් පත්වීම් ලබාදිය හැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන්ට පමණක් යන කරුණ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් පසු අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලදි.

ඒ අනුව රෝගීන්ගේ යහපත සඳහා අවශ්‍ය වෛද්‍ය සේවය ලබාදීම සඳහා සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන් 278 කට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති ඒකකයේ ශ්‍රවණාගාරයේ දී අද (04) පෙරවරුවේ පත්වීම් ලිපි ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ පත්වීලාභීන් එක්ව සිටියහ.

Read more

Local News