අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි – ජනපති

Share

අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට අද(05) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා අතින් නව දෙමහල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබුණු අතර, ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාසල් සිසුවියක විසින් ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතාවයන් අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත්‍රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.

විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

Read more

Local News