රජය තුල ඌරුමීයන් සිටි බව සුව ඇමති කියයි

Share

රජය තුල සිටි ඌරුමීයන් ඉවත් වූ පසු රජය නිවැරදිව ඉදිරියට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන තරුණ බල මණ්ඩල මාලාවේ පාලින්ද නුවර ආසනයේ තරුණ බල මණ්ඩලය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය නිව් නදීශා හොටලයේ දී ඊයේ (06) පස්වරුවේ පැවැති අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“2015 වසරේ නව රජය බලයට පත් කරන්න රාජපක්ෂලාට හති වැටෙනකන් දතින් දත දත් ගැලෙවුවා.

මම දන්ත වෛද්‍යවරයෙක්. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ අපට ඔක්තෝබර් 26 වනිදා වත්මන් ජනාධිපතිවරයා පරාද කිරීමට පහසු වුනා.

අපි සැළුනේ නැහැ. ජන සටනක් ක්‍රියාත්මක කරමින් දින 52 කට පසු එම දේශපාලන අර්බුදය අපි ජයගත්තා.

යහපාලන රජය තුල දී ජනාධිපතිවරයා මෙන්ම කකුලෙන් අදින ලද අමාත්‍යවරුන් පිරිසක් ද සිටියා. ඔවුන්ට මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ඌරු මී න්‍යාය අනුගමනය කරන අය බව.

රජයක සිට රජයම විවේචනය කරනවා. එම නිසයි පළාත් පාලන මැතිවරණය අපි පරාජයට පත් වුනේ. නමුත් එම ඌරු මීයන් ඉවත් වූ පසු රජය ඉදිරියට ගමන් කරනවා. ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා, සිරිකොත ගමට යන වැඩසටහන් වල දී ජනතාවගේ ගැටලු වලට විසදුම් හිමිවෙනවා.

වත්මන් රජය මහජන සුබසාධනය ඉළක්ක කර ගනිමින් සෞඛ්‍ය හා අධ්‍යාපනය නංවාලමින් කටයුතු කරනවා. දේශපාලන පරමාර්ථ උඩ ගමන ඉදිරියට යනවා. සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැළකීම අපගේ අරමුණයි. සෞඛ්‍ය සේවාව ඉදිරියට ගමන් කරනවා.

අපි සිදු කරන මෙවැනි සමාජ සේවා වැඩසටහන් පළාතේ සංවිධායකවරුන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා. දරුවෙකුට රැකියාවක් ලබාදීම උතුම් දෙයක්.

දේශපාලනයේ දී බෙල්ල කපාගෙන ඉදිරියට යන්න බැහැ. රාජ්‍ය බලය තිබෙද්දී ජනතාවට උදව් කළ යුතුයි. අයවැය විවාදයේ දී සෞඛ්‍ය සේවාව පිළිබදව සියළුම දේශපාලන පක්ෂ හොද කිව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව මගෙනුත් විමසුවා.

මොකද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සෞඛ්‍ය සේවාව අගය කළ නිසා. හොද නොකියා බැරි තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කර තිබෙනවා.”

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන, පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

Read more

Local News