අධ්‍යාපන ඇමතිට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

Share

පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට, රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා ගනු ලැබු අදාළ තීරණය මගින් රජයට රුපියල් මිලියන 538යි දශම පහක පාඩුවක් සිදුව ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලේ සදහන් කර තිබේ.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ලබන සතියේ දී එම කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට කැදවීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා හෙට (08) දිනයේ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතව ඇත.

එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලට එන්නත් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන වංචාවට අදාළව සාක්ෂි විමසීම මේ මස 22 වන දින ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සදහන් කළේය.

Read more

Local News