සියලු දේශපාලනඥයන් වගකිව යුතු දෙයක් මෙන්න

Share

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරාණය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

ඉස්ලාම් ආගමේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙන්ම මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ආගමික පසුබිම පිළිබඳ අනෙකුත් ජාතින්ට අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන අයුරින් හුදු පරිවර්තනයකට පමණක් සීමා නොවූ කියවා තේරුම්ගත හැකි අන්දමේ සරල සිංහල භාෂාවෙන් මෙම පරිවර්තනය සිදුකර තිබීම විශේෂත්වයකි.

ඉස්ලාමීය විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් මෙම කටයුතු ක්‍රියාවට නැංවිණි.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී කතාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම මහත් බාධාවක් වී ඇති බවයි.

සියලු ජාතින් සහ ආගමිකයන් අතර ඇතිකරගන්නා අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මඟින් මෙම බෙදීම අවසන් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශුද්ධ වූ අල්-කුරාණය සිංහල බසට පරිවර්තනය කිරීමට ගත් පියවර රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව ද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු අතර තම සංකල්පයක් මත පොළොන්නරුවේ ඉදි කළ ත්‍රෛභාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ද ව්‍යාප්ත වීම ඉතා වැදගත් බවයි.

සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශූද්ධ වූ අල්-කුරාණයේ පළමු පිටපත සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති රිස්වි තුමන් මෙහි දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඉස්ලාමීය පූජකවරුන් ද, හිටපු අමාත්‍ය නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර්, ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා යන මහත්වරුන් ද, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ ලේකම් එම්.එම්.ඒ. මුබාරක් තුමා ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News