හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අයථා මුදල් එක්රැස් කිරීම තහනම්

Share

පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාල චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාගයක් ලබා ගැනීම සපුරා තහනම් බව චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද උදෑසන මේ සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

සියලු ම සිසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි සඳහන් කර තිබේ.

ඒ ඇතැම් පාසල්වල 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී පැමිණෙන දරුවන්ගේ මාපියන්ගෙන් අයථා ලෙස මුදල් රැස් කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන්ට ඇතිවන අනවශ්‍ය පීඩනය සම්බන්ධයෙන් ⁣විශේෂ අවධානය යොමුකරමින් ශිෂ්‍යත්ව විභාගය නැවත සමාලෝචනය කර, ඒ සඳහා සුදුසු විකල්ප යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කරන ලද ශිෂ්‍යත්ව විභාග සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණවලට එළඹීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නොමැති බවයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

Read more

Local News