නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් ගෙන ආ අයෙක් අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(08) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මොහු 54 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවට අනාවරණය වී තිබේ.

ඔහු අද දින අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, සිය නිවෙස කරා යෑමට ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැදී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මොහු විසින් ගෙනැවිත් තිබූ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක වටේට රෙදි අසුරා, ඒවා මැදට වන්නට මෙම දුම්වැටි තොගය අසුරා සඟවා ගෙන තිබී ඇති බවටයි සඳහන් වන්නේ.

එහි රුපියල් 5,83,000 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 11,660 ක් තිබූ බව පොලීසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයා සහ දුම්වැටි තොගයත් සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

Read more

Local News