රට වෙනුවෙන් එකට සිටිමු-සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර මඩකලපුවෙදී

Share

”රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ඊයේ (08) ආරම්භ කෙරිණි.

ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කරදීම ,රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ අරමුණයි.

රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලූ හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලූ විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන හරහා සිදු කෙරේ.

එහි පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ත්‍රිරක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු අතර ඉදිරියේ දී දීප ව්‍යාප්ත ව දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මඩකලපුව දිස්ත්‍රි‍ක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් අප්‍රේල් 12 වන දා දක්වා එහි දෙවන අදියර ක්‍රියාත්මක වේ.

ඒ හා සමගාමීව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ වැඩසටහන් කිහිපයක් අද දිනය පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක දී ක්‍රියාත්මක කෙරිණි.

එහි පළමු වැඩසටහන මන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තමෙලෙයි ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර අතිරේක ආහාර බෝග බීජ බෙදාදීම, ගොවීන් දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් එහි දි ක්‍රියාත්මක විය.

මන්මුනෙයි කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ දී  අඹ පැළ බෙදාදීම, වතුර මෝටර් බෙදා දීම, රටකජු බීජ බෙදා දීම සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

එමෙන්ම මන්මුනෙයි පත්තු, කිරන්කුලම් මධ්‍යම ප්‍රදේශයේ දී ද, කෝරළෙයි පත්තු මධ්‍යම තියවට්ටවන් ප්‍රදේශයේ දී ද, එරාවුර් පත්තු, මාවලයාරු ප්‍රදේශයේ දී ද අතිරේක ආහාර බෝග බීජ ඛෙදාදීම, ගොවි ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් සංවිධානය කර තිබුණි.

Read more

Local News