ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න බවද අමාත්‍යවරිය පැවසීය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල සුමන නායක ස්වාමීන් වහන්සේ වෙත දිසා පාලක ධූර අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය,
අපි හදවතින්ම බෞද්ධ ධර්මයේ යහපත වෙනුවෙන් වැඩ කරන උදවිය. මේ සත් මහල් ගොඩනැගිල්ල ඔබ වහන්සේ ගොඩ නගලා තියෙන්නේ මේ දහම් පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් .ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ නමක් ඇගයීමට ලක් කිරීම පිළිබදව මම සතුටු වෙනවා.
රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලා විශාල වැඩ කොටසක් විනය ගරුකව සිදු කරනවා. අපේ නිකාය බෞද්ධ නිකාය. අපි නොදැක්කාට ඉතා විශාල මෙහෙවරක් නිහඩව කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කථා කරන ධර්මය අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිල් පද පහ අනුව ජීවත් වෙන්න ඕන.
මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. යැයි ද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.