ආණ්ඩුවට ඡන්දය ලබා දීම දේව ශාපයක්

Share

ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට එරෙහි සටන එළැඹෙන මැයි රැලියෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

අද රටේ තිබෙන දේශපාලනික, සමාජීය හා ආර්ථික අස්ථාවරභාවය මෙන්ම රටේ ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ඇති අපහසුතාවය පිළිබඳව ආණ්ඩුව සක්‍රීය වශයෙන් මැදිහත් නොවන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ආණ්ඩුව හිතාමතා මෙය මඟ හරිමින් සිටින බවත් ඒ හේතුවෙන් අගතියට පත් සියලු දෙනාට අප්‍රේල් මස 26 වන දින ත්‍රීකූණාමලය නගරයෙන් ආරම්භ කර මැයි 1 වන දා වන විට කැම්බල් පිටියට එක්වන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී ආරාධනා කළේය.

සියලු දේට වගකිව යුත්තේ ආණ්ඩුව බවත්, රටේ ආර්ථික පසුබෑමට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස වගකිව යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු සිටියත් ඔවුන්ට අද වන විට කිසිදු දෙයක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, සියලු ගැටළු අමතක කරමින් අදටත් එක්සත් ජාතික පක්ෂය හැසිරෙන බවත්, කරුණාකර ජනාධිපතිවරණය ගැන අවධානය යොමු කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන ලෙස ද පැවසීය.

අද දේව ශාපයක් ලෙස මෙම ආණ්ඩුවට ඡන්දය ලබා දුන් සියලු දෙනා දුක් විඳින තත්ත්වයට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News