අදින් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වෙයි

Share

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව ඌව පළාත් සභාව හැර මෙරට පවතින සෙසු සියලු පළාත් සභාවල පරිපාලනය ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු වන ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත්වල නිල කාලය අවසන් වී මේ වන විට වසරකුත් මාස හතක කාලයක් ගත වී ඇති අතර එහි පාලන කටයුතු සඳහා ජනතා නියෝජනයක් පවතින්නේ නැත.

එමෙන්ම මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල නිල කාලය අවසන් වී මේ වන විට මාස 07ක් ගත ව ඇත.

දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වුයේ පසුගිය දස වැනිදා ය.

දැනට ක්‍රියාත්මක එකම පළාත් සභාව වන ඌව පළාත් සභාවේ නිල කාලය එළඹෙන ඔක්තෝබර් මස 08 වන දින අවසන් වීමට නියමිතය.

ඒ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය එම පළාත්වල ද ක්‍රියාත්මක නොවීම විශේෂත්වයකි.

වසර දෙකකට ආසන්න කාලයක සිට පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකිවීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීම, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය වීම සිදුවන බව විචාරකයින් පෙන්වා දෙනු ලබයි.

මේ අතර පළාත් සභා විසුරුවා හැරීමෙන් අනතුරුව එහි පාලන කටයුතු සඳහා ආණ්ඩුකාරවරුන් යටතට පත්කිරීම සුඳුසු ක්‍රියාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

කැළණිය ගල්බොරැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි.

පාදුක්ක ප්‍රදේශයේ දී ඔහු ප්‍රකාශ කළේ කුමන හෝ ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය.

Read more

Local News