ලැබු තොරතුරු ගැන අවධානය යොමු නොකිරිම ගැන අගමැති කියයි

Share

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය මැඩපැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

සුළු වේලාවකට පෙර අගමැතිවරයා මාධ්‍ය අමතමින් මෙම ප්‍රකාශය සිදු කළේය.

අද දින සිදුවු අවාසනාවන්ත සිදුවීම් මාලාව පිළිබඳ වාර්තා වු වහාම අගමැතිවරයා වශයෙන් රටේ අස්ථාවර භාවයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගත් බව ද අගමැතිවරයා පවසයි.

ත්‍රස්ථවාදයට හිස එසවීමට කිසි සේත් ඉඩ තැබිය නොහැකි බවත්, ඒ අනුව මුලික පියවරක් ලෙස සියලු දෙනා සමඟ සාකච්ඡා කර බවත් ඉන් අනතුරුව ජනපති සමඟ සාකච්ඡා කර ඇඳිරි නීතිය පැනවු බවත් අගමැතිවරයා මෙහිදී  සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,දෙමළ ජාතික සන්ධාන නායක ,සුමන්තිරන් මහතා හා පොලිස්පතිවරයා සමඟ ද සාකච්ඡා කළ බව පැවසු අගමැතිවරයා, අද දින ප්‍රහාරයට ලක්වු කොච්චිකඩේ හා මීගමුව දේවස්ථාන වෙත ගොස් පෞද්ගලිකව සිදුව ඇති හානිය දැක බලා ගත් බව ද පැවසීය.

එහිදී මිය ගිය පුද්ගලයින්ට වන්දි ලබා දීමට හා හානි වු දේවස්ථාන ප්‍රතිසංස්කරණයටත් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව පැවසු අගමැතිවරයා, නරේන්ද්‍ර මෝදි මහතා හා තවත් විදෙස් නායකයින් බොහෝ පිරිසක් තමා සමඟ කථා කර කණගාටුව ප්‍රකාශ කළ බව ද පැවසීය.

මෙම අපරාධය සිදු කළ විදේශ සම්බන්ධතා සොයා බැලීමටත් ඒ පරීක්ෂණවලටත් සියලු විදෙස් නායකයින්ගේ සහය ලබා දීමට එකඟ වු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

අද සවස 3 ට 8 අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ගත යුතු ඉදිරි පියවර ගැන දැනුවත් කළ බව ද අගමැතිවරයා මියගිය සියලු දෙනා ගැන කණගාටුව පළ කර සිටියේය.

විශේෂයෙන් බරපතළ කාරණයක් වන්නේ මෙම තොරතුරු ගැන යම් තොරතුරක් කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමසා බැලිය යුතු බවත්, තමා ඇතුළු ඇමතිවරු මේ ගැන දැනුවත් නොවීමත් එයට හේතුවක් බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කලේය.

මේ වන විට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකරුවන් සැඟවී සිටින නිවාස ගණනාවක් හඳුනා ගෙන ඇති බවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන එල්ල කළ මෙම ප්‍රහාරය සුළු කොට තැකිය නොහැකි බව ද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News