පොලිස්පති ඉල්ලා අස්විය යුතු බව රාජිත කියයි

Share

ත්‍රස්ත කල්ලියක් විසින් දිවයිනේ ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින දන්වා තිබිය දී වගකීම් පැහැරහැරීම පිළිබදව සොයා බැලිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුනා. එහිදී ගත් තීන්දු තීරණ පිළිබදව සමූහික වගකීමෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා අමාත්‍යවරුන් මෙතනට පැමිණ සිටිනවා.

බෝම්බ පිපිරීම් වලින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට රජය වෙනුවෙන් පළමුව ශෝකය පළ කරනවා. ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ ශෝකය මෙහිදී මම පළ කරනවා. මෙම මහා විනාශය පිළිබදව වගකීමෙන් අපි බැහැර වන්නේ නැහැ.

පූර්ණ විමර්ශණයක් සිදු කරනවා. මෙවැනි ත්‍රස්ත කියා ඉදිරියේ දී සිදු නොවන්න කටයුතු කරනවා. මේ වනවිට ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා අපි හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා.

මමත් ඒ කියන දේශපාලනඥයින් හිටි රජයේ අමාත්‍යවරයෙක්. මාර්ග බාධක, ත්‍රිවිධ හමුදාව යොදවා තිබිය දී කොළඹ බෝම්බ පිපිරීම් සිදු වුනා. ත්‍රස්තවාදයට අවශ්‍ය වන්නේ සුළු වේලාවක් පමණයි. අපගේ දුර්වලතා, ආරක්ෂක අංශවල දුර්වලතා පිළිබදව මෙහිදී සොයා බලා රජයක් ලෙස ක්‍රියා කළ යුතුයි.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. ඒ ප්‍රහාරය එල්ලවීමට දින 17 කට පෙරයි.

ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් මස 09 දින පොලිස්පතිවරයාට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා. ඒ එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැදුනුම්පත් අංක ද සදහන් කරමින්.

අප්‍රේල් මස 11 දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් මේ පිළිබදව දැනුවත් කර තිබෙනවා.

නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති. මෙම ලිපියෙන් ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස තහවුරු කර තිබෙනවා. නමුත් මෙය අනුශාංගික වැඩක්.

රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමයි මෙහිදී වැදගත් වන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කැදවීමක් ලැබෙන්නේ නැහැ.

සියලු තොරතුරු ලැබී තිබිය දී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව සොයා බැලිය යුතුයි. වගකීම් පැහැර හැර ඇති සියලු දෙනා පිළිබදව සොයා බැලිය යුතුයි. අනතුරු ඇගවීම් සිදු කර තිබිය දී ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම පිළිබදව ද සොයා බැලිය යුතුයි.

මෙම බෝම්බ පිපිරවීම් එක ත්‍රස්ත කල්ලියක ක්‍රියාවක් නොව, සංකීර්ණ ක්‍රියාවලියක්. මෙම කල්ලිය පිළිබදව ජාත්‍යන්තර ඔත්තු සේවා අවස්ථා කීපයක දී දැනුවත් කළත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

ජාත්‍යන්තර ඔත්තු සේවා දැනුම් දී තිබුනේ කතෝලිය දේවස්ථාන, සංචාරක හෝටල්වලට පහර දෙනවා කියලයි. මෙම සිද්ධිය සිදුවීමට දින 02 කට පෙරත් බෝම්බ පිපිරවීමට විනාඩි 10 කට පෙරත් ජාත්‍යන්තර ඔත්තු සේවා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. මෙය ඛේදවාචකයක්. සංචාරක කර්මාන්තයට ප්‍රශ්නයක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි. අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිවරයා ඉවත් කරන්න කියලා.

නව පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් ප්‍රකාශ කරන්නේ ඉහළින් ලැබුන නියෝග මත ආරක්ෂක මණ්ඩලයට ආවේ නැහැ කියලා. මේ පිළිබදවත් අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරනවා.“

Read more

Local News