විනාශ වූ දේවස්ථාන ඉක්මනින් ගොඩනඟන බව සජිත් කියයි

Share

මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සියෝන් දෙවස්ථානය අංග සම්පූර්ණව නැවත ගොඩනැගීමේ කටයුතු අද(22) දින සිටම ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරමින් ඊයේ(21) සිදුකළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවවපිටිය, සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීමට අද දින එහි නිරීක්ෂණය චාරිකාවකට සහභාගී වෙමිණි.

කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන පාස්කු ඉරිදා දිනය යෙදී තිබූ ඊයේ කතෝලික දේවස්ථාන 3 කදී හා තරු හෝටල් 3 ක් ඇතුළු ස්ථාන 8 කදී සිදුකළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී විශාල දේපොල හානියක් සිදුවිය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළීබඳව කරගෙන යනු ලබන නීතිමය පරීක්ෂණවලට බාධා නොවන පරිදී අංග සම්පූර්ණව මෙම සිද්ධස්ථාන ගොඩනැගීමේ කටයුතු අපි ආරම්භ කරනවා. අතිගරු කාදිනල් තුමාගේ සහ ගරු පූජකතුමන්ලාගේ අවවාද උපදෙස් මත මෙම අළු පිසදමා යළි ගොඩනැගීමේ කර්තව්‍ය අප ක්‍රියාත්මක කරනවා.

ජාතික ආරක්ෂව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරනවා සේම ත්‍රස්ත ක්‍රියාවන් සිදුකළ කණ්ඩායම් වලට ලබා දියහැකි උපරිම දැඩි දඬුවම් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අප ගන්නවා.

ත්‍රස්ත ප්‍රහාර වලින් හානියට ලක්වූ හැම පවුලකම ජන ජීවිත ගොඩ නගන්නටත්, සුන් වී ගිය ඒ අයගේ ජීවිත යළි ශක්තිමත් කරන්නටත් රජයක් හැටියට අප කටයුතු කරනවා.

ආගමික සිද්ධස්ථාන කෙන්ද්‍ර කර ප්‍රහාර එල්ල කිරීමෙන් රට යන ගමන කිසිවෙකුටත් නවත්තන්නට බැහැ. අහිංසක ජනතාව මරා දමන ත්‍රස්තවාදීන්ට අප ලබා දෙන පණිවුඩය නම්  කුමන ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළද අප ඔවුන් ලුහුබැඳ ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කිරීමට කටයුතු කරන බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක වෙනවා.  රජය පැත්තෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා.

විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු අපට දැනගැනීමට හැකි වෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තවදුරටත් තබා ගන්න.

අපට ජාතික ආරක්ෂාව සැලසීමට සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම රමුවක සිටයි. කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූවාට පසුව මෙවැනි ම්ලේච්ඡත්වයක් නිර්මාණය වේ යැයි කියා අප සිහිනෙන් වත් සිතුවේ නැහැ.

එම ම්ලේච්ඡත්වයට නිසි දඩුවම් ලබා දීමට අප කටයුතු කරනවා. මේ උතුම් පුදබිමේ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. ඕනෑම ත්‍රස්තවාදයක් සුණු විසුණු කිරීමට අප සැදී පැහැදී සිටිනවා.”

Read more

Local News