බුද්ධි අංශයට තොරතුරු තිබුණත් සාක්ෂි නැතුව අත්අඩංගුවට ගන්න බලයක් නෑ-ජනපති

Share

ශ්‍රී ලංකාවේ මතුවූ ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්තාවේ දී ඔවුහු මේ බව අවධාරණය කළේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිවරයා මතු වු හදිසි තත්ත්වය මැඩ පැවැත්වීමට ගත් පියවර පිළිබඳව ද රාජතාන්ත්‍රිකයින් හමුවේ පැහැදිලි කළේය.

ප්‍රහාර එල්ල වූ වහාම එම ස්ථාන වටලා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර විමර්ශන කටයුතු ද විධිමත්ව ඉදිරියට ක්‍රියාත්මක බව ජනාධිපති වරයා සඳහන් කළේය.

එම විමර්ශන කටයුතුවල දී ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30ක යුද්ධයේ අත්දැකීම් මෙන්ම පසුගියදා මහනුවර සිදුවීම පිළිබඳව ලැබු අත්දැකීම් ද ඉවහල් කරගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහිත බලවත් රටවල් 08 ක් මේ වන විට ශ්‍රී ලංකාවට කැමැත්ත පළ කර තිබෙන බව කියා සිටියේය.

මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවද පැවැසූ ජනාධිපතිවරයා

මෙවන් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා බුද්ධි අංශයට ලැබී තිබුණ ද, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලතල නොතිබූ අතර, කෙසේ වෙතත් ඉදිරියේ දී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත්, එමෙන්ම ඇතිවිය හැකි ප්‍රවනතාවයන් සමඟ ඉදිරියේ දී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය අනුව ත්‍රස්ත මර්දනය සඳහා ඝෘජුවම ආරක්ෂක හමුදාවන් වෙත බලතල හිමිවන බවයි.

ඒ අනුවත්, ජාත්‍යන්තරයේ සියලූදෙනාගේ සහය ලබාගනිමින් සහ ත්‍රස්ත මර්දනය පිළිබඳ දේශීය අත්දැකීම් සහ දැනුම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇති බව තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ හදිසි නීතිය සිවිල් වැසියාට එරෙහිව භාවිතා නොකරන බවට සහතික කිරීමේ වගකීම තමා භාරගන්නා බවයි.

සමාජ මාධ්‍ය තහනම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා එම තහනම නුදුරේදී ම ඉවත් කිරීමට කටයුතු යොදන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳව ශෝකය පළ කළ සියලූ රාජ්‍ය නායකයන්ට සහ විදෙස් නියෝජිතයන්ට තම ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා මෙම අසිරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටි සියලූදෙනා වෙත ජාතියේ කෘතඥතාව පළ කළේය.

Read more

Local News