ප්‍රහාර සිදුවිම ගැන බුද්ධි අංශ ප්‍රධානියා පොලිස්පතිව කලින්ම දැනුවත් කරලා

Share

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු පිපිරීම්වලට ප්‍රථම නිකුත් කෙරුණු  අනතුරු ඇඟවීම් ලිපි පිළිබදව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාස හතරකින් ආරක්ෂක කවුන්සිල රැස්වීමට කැඳවා නොමැති බව වාර්තා වෙයි.

පසුගිය 9 වැනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත අතිශය රහසිගත ලිපි කට්ටලයක් යොමු කර තිබුණි.

ඒ, ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ සහරාන් හෂ්මි සහ ඔහුගේ අනුගාමිකයින් විසින් කෙටි කාලයක් තුළ මෙරටදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවට පවසමින්.

පොලිස්පතිවරයාට යොමුකළ එම ලිපියේ සඳහන්ව තිබුණේ, සැළසුම් කර ඇති ප්‍රහාරවල ඉලක්ක ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට ප්‍රධාන ක්‍රිස්තියානි දේවස්ථාන ඇති බවයි.

එමෙන්ම අදාළ ප්‍රහාර එල්ල විය හැකි ආකාරයන් පිළිබදව ද ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඒ.එන්. සිසිර කුමාර මහතා විසින් පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් කර තිබුණි.

සිසිර කුමාර මහතාගේ ලිපියේ සඳහන් වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර, අවි ආයුධ, තියුණු ආයුධ සහ ට්‍රක් රථ භාවිත කර මෙම ප්‍රහාර එල්ල විය හැකි බවයි.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන ඇති සහ්රාන් හෂ්මි, ජල් අල් කයිතාල්, රිල්වාන්, සජීඩ් මවුලවි, ෂහීඩ්, මිල්හාන් ඇතුළු පිරිසක් ඒ සඳහා සූදානමින් සිටින බවට අදාළ ලිපියෙන් අනාවරණ කර තිබුණි.

අදාළ ලිපිය එදිනම පොලිස්පති කාර්යාල වෙත භාර දී ඇති බවට සනාථ වන්නේ මෙම දින මුද්‍රාවෙන්.

එදිනම පොලිස්පතිවරයා ත්‍රස්ත ප්‍රහාරයේ අනතුරු ඇඟවීම් ලිපිය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමුකර තිබේ.

පොලිස්පතිවරයා විසින් යොමුකළ ලිපිය පදනම් කරගනිමින් පවතින තත්ත්වය පිළිබඳව විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ආරක්ෂක ප්‍රධානීන් පස්දෙනකු ලිඛිතව දැනුවත් කර තිබුණි.

ඒ, ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය සහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 4 හි අධ්‍යක්ෂවරුන්ට සහ තානාපති ආරක්ෂක කොට්ඨාසයේ මෙන්ම විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාස 5 හි වැඩබලන අධ්‍යක්ෂවරුන්ටයි.

ප්‍රියලාල් දසනායක මහතා යොමුකරන ලද එම ලිපියේ සඳහන් වූයේ අදාළ කොට්ඨාස මඟින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසයි.

දින 12 ක් තිස්සේ ප්‍රහාර සම්බන්ධනේ අනතුරු ඇගවීම්  ලිපි ආරක්ෂක ප්‍රධානීන් අතර හුවමාරු වෙද්දී පසුගිය 21 වැනිදා බෝම්බ ප්‍රහාර එල්ල වනවා.

එම ප්‍රහාරවලින් පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළි තම නිලධාරීන්ට ලිපියක් යොමුකරමින් විමසීමක් කරනු ලබයි.

ඒ තමා එවන ලද අනතුරු ඇගවීමේ ලිපි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව ලබන 25 වැනිදාට පෙර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින්.

එම ලිපි ඊයේ වන විට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමු කර තිබේ.

කාලයක් තිස්සේ රට තුළ දරුණු අපරාධ රැල්ලක්  නිර්මාණයවෙමින් තිබියදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මාස 4ක් තිස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට කැදවා නැති බව වාර්තා වෙයි.

මාස හතරකට පසුව පොලිස්පති ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා තිබුණේ ඊයේ දිනයේදීයි.

මේ අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ දැයි විදෙස් මාධ්‍යවේදියකු ඊයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ, තමන් ඒ පිළිබදව දැන සිටි බවයි.

Read more

Local News