පාසල් දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ ක්‍රියාන්විතයක්

Share

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

සිසු දරු දැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා විසින් ද පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර තිබේ.

පාසල් දෙවන වාරය ආරම්භ කිරීමට නියමිත අප්‍රේල් 29 වැනිදා ට පෙර පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට ද, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇත.

මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් ද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read more

Local News