Tuesday, March 19, 2024.

පුංච් පරිසර ක්‍රියාකාරිනිය බ්‍රිතාන්‍ය දේශපාලඥයන් අමතයි

Share

පරිසර ක්‍රියාකාරිනියක් ලෙසින් අතිශය ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් දැරිය බ්‍රිතාන්‍යය දේශපාලන නායකයන් හමුවේ පැවැති දේශනයකට එක්වුණි.

වැඩිහිටියන් එක්ව ළමා පරපුරේ අනාගතය අලෙවි කර ඇති බව මෙහිදී ඇය අවධාරණය කර ඇත.

ග්‍රේටා තුන්බර්ග් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

දේශගුණ විපර්යාසයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම හේතුවෙන් ඇය මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියි.

බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැවැති උත්සවය අවස්ථාවකට එක්වෙමින් එහි රැස්ව සිටි බ්‍රිතාන්‍ය නීති සම්පාදකයන් සහ පරිසරවේදීන් පිරිසක් ඉදිරියේ අදහස් දැක්වීමේ අවස්ථාව ග්‍රේටා ට හිමිවුණි.

මෙම රැස්වීමට අගමැතිනී තෙරේසා මේ ද එක්වීමට නියමිතව සිටියත් කැබිනට් හමුවක් පැවැත්වීම හේතුවෙන් ඇයට එහි පැමිණීමට හැකිව නැත.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ග්‍රේටා පැවසුවේ පැවැති පරම්පරාවලට අයත්වූවන් එක්ව දරුවන්ගේ අනාගතය අලෙවි කර ඇති බවය.

දේශගුණ විපර්යාස වලට එරෙහිව ලන්ඩන් නුවර පැවැත්වෙන විරෝධතා මාලාවේ එක් අදියරකට ද ඇය එක්ව සිටියේය.

සිය ඉල්ලීම් දිනාගන්නා තුරු මෙම අරගලය අත් නොහරින ලෙස ඇය එහිදී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 800කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

ඊට එක් වූ ඇතැම් කණ්ඩායම් වල ප්‍රචණ්ඩකාරී හැසිරීම ඊට හේතු වූ බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ වෙතත් ග්‍රේටා තුන්බර්ග් මේ සඳහා සහභාගී වූ  විරෝධතාකරුවන්ට උත්තේජනයක් වී ඇත.

දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අවධානය දිනාගැනීමට ඇය පළමුවරට පන්ති වර්ජනයක් සංවිධානය කළේ පසු ගිය වසරේ අගෝස්තු මාසයේදීය.

එය පැවැත්වුණේ ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටය.

එතැන් සිට විටින් විට ඇය සිකුරාදා දිනවල පන්ති වර්ජනය කළාය.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහාත් ඇයගේ නම යෝජනා වී ඇත.

ඒ දේශගුණ විපර්යාසයට එරෙහිව සටන්වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News