කොතනද අපට වැරදුනේ ?

Share

මෙම ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා තිබෙන ඕනම දේශපාලන සංධානයකට නොපැකිළව සහයෝගය දෙන බව ඇමති චම්පික රණවක පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (24) දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

අද අපි සියලූ දෙනාම දන්නවා අන්තර් ජාතික ඉස්ලාමීය මූලධර්මවාදී ත‍්‍රස්තවාදී සංවිධානයකදයක් වන ISIS සංවිධානය ශ‍්‍රී ලංකාවට ඉතාම භයානක වියරු ප‍්‍රහාරයක් දියත් කර තිබෙන බව. මෙවැනි සිදුවීමක් සිදුවුන හැටියේ අපේ ඉතිහාසයේ අපි කරන වැරදි ගණනාවක් තිබෙනවා. පළවෙනි වරද තමයි මේක හරහා දේශපාලනය කරන්න බලනවා.

අරයට චෝදනා කරනවා, මෙයාට චෝදනා කරනවා, අපි හිටියනම් මීට වඩා හොඳට කරන්න පුලූවන් කියලා කියනවා. මේ යනාදි වශයෙන් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අවස්ථාවෙත් අපි දැක්කා.

ඒ වගේම වෙනත් ගැටුම් තිබුණ අවස්තාවලදීත් මෙය අපි දැක්කා. අපි අතර දේශපාලන බේද බින්නතාවය ආරම්භ කරනවා. ආරක්‍ෂක අංශ මේවා මර්ධනය කරන්න ගියහම ඒකට කරනවා.

අපේ හිතවතා, ඥාතියා, පාක්ෂිකයා මුදාගන්න කටයුතු කරනවා. ඒ හරහා සමහරවිට අවසානයේ මරණය කැඳවා ගන්නවා. මේක අපි අතීතයේ සිට කරපු එක් වැරැද්දක්, එය දැනුත් සිදු කරමින් තිබෙනවා.

දෙවැන්න තමයි මෙවැනි සිදුවීමක් සිදු වූ වහාම එන එක තමයි මේ කුමන්ත‍්‍රණ කතාව, මේක සිදුවන්න ඇත්තේ අසුවල්ලූ විසින්, අසවල් ආකාරයට, අහවල් දේශපාලනය කරනවා කියලා නියම හතුරා අමතක කරලා කුමන්ත‍්‍රණ කතා ගණනාවක් ගොඩනැගෙනවා.

මේ රටේ මේ පාර්ලිමේන්තුවේ සිටින සියලූ දෙනා දන්නවා ලලිත් ඇතුළත් මුදලි, විජය කුමාරතුංග, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඝාතනය උනහම, චන්ද්‍රිකා මැතිණිය ඝාතනය කරන්න උත්සාහ කළහම වෙනත් නොයෙක් දෙනාට මේ වගකීම පවරලා කුමන්ත‍්‍රණයක් ගෙනල්ලා සැබෑ ත‍්‍රස්තවාදියාට, අපරාධකාරයාට ආරක්‍ෂාව, රැකවරණය ලැබෙනවා.

තුන්වනුව මේවා සම්බන්ධයෙන් දැනුත් මෙතන සිදුවුණා. සමාජ දේශපාලන විග‍්‍රහයන් කරනවා. මේවා මතුවුණේ අසවල් අසාධාරණය නිසා, අසවල් අධිරාජ්‍යවාදී කි‍්‍රයාදාමය නිසා, පීඩනය නිසා කියලා.

සමාජ දේශපාලන විග‍්‍රහයන් කරලා මේ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට සමාජ දේශපාලනික පසුබිමක් රැකවරණයක් ලබාදෙන්න අපිම කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතනදි කියන්න  ඕනේ.

අපි මෙතනදී කවුද වැරදි කියන ප‍්‍රශ්නයට වඩා  කොතනද අපට වැරදුනේ කියලා බලලා අපි වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ගැටුම ජය ගන්නට නම් ඒ සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් ඉතා වැදගත්. ඒ පුද්ගලයින්ට පමණක් නෙමෙයි ඒ එක්කම මේ ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්න අපේ ආරක්‍ෂක විධිවිධානවල වෙනසක්, ප‍්‍රතිසංස්කරණයක් ඇති කරන්න අපි සියලූ දෙනාම ඇප කැපවෙලා කටයුතු කරන්න  ඕනේ.

ඇත්තටම මේ ඊයේ ISIS එක නිල වශයෙන් මෙහි වගකීම භාර ගත්තේ නැත්නම් මේ කුමන්ත‍්‍රණවලින් තවත් මේ ගැටුම පිටු පස අසවල්ලූ ඉන්නවා කියලා මේ රට විශාල වශයෙන් අපහසුතාවයකට, ජනතාවට මොකද්ද මේ උනේ කියන එක හොයාගන්න බැරි තත්වයකට පත් වෙන්න පුලූවන්.

ඉරාකයට එල්ලවෙච්ච ප‍්‍රහාරයත් එක්ක ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් විශේෂයෙන්ම සදාම් හුසේන්ගේ බාත් පක්ෂයේ අනුගාමිකයින් අතරින් තමයි අල්සර්කාවිගේ මේ ව්‍යාපාරය ආරම්භ උනේ.

සර්කාවිගෙන් පසු මේක අල්බග්ඩාගි අතට ගියා. ඔහු කලිපාතයක් ප‍්‍රකාශයට පත් කළා. අපි දන්නවා ඉස්ලාමීය ඉතිහාසයේ නිරන්තරයෙන්ම මූලධර්මයක් සහිත රටක් මැදිහත් කරගෙන තමයි ඒ අධිරාජය පැවතුනේ.

ඔටෝමාන් කලිපාතය ඇද වැටුනට පසුව මේ කලිපාතය මොහු බිහිකලාහම ලෝකයේ මධ්‍යම පාන්තික තරුණ තරුණියෝ 40,000 කට අධික පිරිසක් ගිහින් ඔහුගේ ISIS ව්‍යාපාරයට බැඳුනා.

ලංකාවෙත් පවුල් හතරකට පහකට අයිති ඉතාම වැදගත් උගත් යැයි හැඟෙන පිරිස් මේ සිරියාවට ඉරාකයට ගිහින් වෛද්‍යවරු හැටියට එහෙම නැත්නම් සටන් කාමින් හැටියට ඔවුන්ට සේවය කළා. ඒ තොරතුරු සියල්ල අපේ බුද්ධි අංශයට 2011-12 දි මේවා වාර්තා උනා.

මෙහිදී මම විශේෂයෙන්ම අවසානයේ කිව යුතුයි මෙය පරාජය කිරීමට සියලූම දේශපාලන බලවේග එකට එකතුවිය යුතුයි.

ජනාධිපතිතුමා, අගමැතිතුමා පමණක් නෙමෙයි විපක්ෂ නායකතුමා ඒ වගේම දෙමළ සංධානය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ අනෙකුත් සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන මේ පිරිස්, මනුෂ්‍යත්වය අගය කරන මේ පිරිස් එකට එකතු විය යුතුයි දේශපාලන වශයෙන්.

ඒ වගේම කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ආරක්‍ෂක අංශවලට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය සහයෝගය අපි විසින් ලබාදිය යුතුයි.

ඒ වගේම මම ප‍්‍රකාශ කළ යුතුයි මේ ත‍්‍රස්තවාදය පිළිබඳව අපි වසර ගණනාවක් කි‍්‍රයා කළ පිරිසක් හැටියට අපේ දේශපාලන හිතවත් කම, අපේ දේශපාලන සංධානය තිබෙන්නේ රට වෙනුවෙන්, ඒ වෙනුවෙන් මේ ත‍්‍රස්තවාදය පරාජය කිරිම සඳහා තිබෙන ඒ ඕනෙම දේශපාලන සංධානයකට අපි නොපැකිළ සහයෝගය දෙනවා විතරක් නෙමෙයි ඒ සඳහා කි‍්‍රයාකිරීමටත් සූදානම් බව ප‍්‍රකාශ කරනවා යැයි පැවසීය.

Read more

Local News