ඛනිජ තෙල් තොග කළමනාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පැවැති දුර්වලතා – පෙට්‍රල් හිඟයට මූලික හේතුව කමිටුව පෙන්වා දෙයි

Share

ඛනිජ තෙල් තොග කළමනාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පැවැති දුර්වලතා හදිසි තෙල් හිඟයක් ඇති වීමට හේතු වී තිබෙන බව ඒ සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇති බව ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ පසුගිය කාලයේ පැවති පෙට්‍රල් හිඟය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ඊයේ (14) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. විශේෂ කාර්යභාරය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළේය.

මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමැති නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර වාර්තාවක් ලබා ගැනීම යෝග්‍ය බව එම කමිටුව නිර්දේශ කර තිබේ.

මීට අමතරව මෙවැනි ඉන්ධන හිඟයක් ඉදිරියේදී ඇති වීම වැළැක්වීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශ ද එම කමිටුවේ අනෙකුත් නිර්දේශ ලෙස ලබාදී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම කමිටුවේ අනෙකුත් සමාජිකයන් වෙති.

පෙට්‍රල් හිඟය පිළිබඳ හදිසියේ උද්ගත වූ සැපයුම් තත්ත්වයේ ගැටලුව මේ වන විට නිම වී තිබෙන බව ද එම කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News