මම ඒ ලිපිය දැක්කෙත් සිංගප්පූරුවේදී සමාජ මාධ්‍ය හරහා

Share

ශ්‍රී ලංකාවට ඒල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අගවමින් ඊට පෙර විදේශීය බුද්ධි අංශ නිකුත් කර තිබී ලිපිය තමන් දැක්කේ සිංගප්පූරුවේදි සමාජ මාධ්‍ය ඔස්සේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පුවත් පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“අපේ මිත්‍ර රටකින් අප්‍රේල් 4 වැනිදා තමයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වෙත මේ පහරදීම පිළිබඳව මුලින්ම සම්පූර්ණ තොරතුරු දීලා තිබෙන්නේ.

ඒ ලිපිය දීර්ඝ ලිපයක්. එහි තිබුණා කිතුණු දේවස්ථාවලට පහර දෙනවා කියලා. ඒ වගේම ප්‍රධාන ජනයා ගැවසෙන ස්ථාවලට හා හෝටල්වලට පහර දෙනවා කියලා.

ලිපියේ තිබෙනවා ප්‍රහාර එල්ල කරන ක්‍රම. ස්නයිපර් ප්‍රහාර වෙනත් පුපුරණ හා අවි ආයුධ වලින් කියලා. ඊට පහළ බොහොම පැහැදිලිව සම්බන්ධ අයගේ නම් තිබෙනවා.

අප්‍රේල් 4 සිට අප්‍රේල් 12 දක්වා මේ ලිපිය එහාට මෙහාට ගියා. බුද්ධි අධ්‍යක්ෂකවරයා තමාගේ වගකීම ඉටුකළා. ආරක්ෂක ලේකම්වරයාට මෙම ලිපිය ඉදිරිපත් කළා. ආරක්ෂක ලේකම්වරයා මේ ගැන වඩා හිතන්නේ නැතිව, ඔහුගේ ජාතික ආරක්ෂක ප්‍රධානීට මේ ලිපියට මිනිට් එකක් දාලා යැව්වා.

ජාතික ආරක්ෂක ප්‍රධානී ඒ ලිපිය සාමාන්‍ය ක්‍රමය අනුව ඔහු ඒ ලිපිය පොලිස්පතිවරයාට යැව්වා. පොලිස්පතිවරයා අතට ගියෙත් ආරක්ෂක ලේකම් අතට ගියෙත් මිත්‍ර රටකින් ලැබුණ සම්පූර්ණ ලිපියත් එක්කයි.

පොලිස්පති මේක DIG පස්දෙනෙකුට දානවා. එක DIG කෙනෙක් ප්‍රභූ ආරක්ෂක අංශය බාරයි. ඔහු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට ඒ ලිපියේ තොරතුරු යවනවා. ඒ නිසා ප්‍රභූන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

නමුත් ආරක්ෂක ලේකම් හෝ IGP හෝ අනෙක් DIG හතර දෙනා තමන්ගේ වගකීම් ඉටු කළේ නෑ. මේ විදිහට අප්‍රේල් 4 සිට 12 දක්වා ලියුම හුවමාරු වුණා.

මම පිටරට ගියා කියලා මට චෝදනාවක් තියෙනවා කාටවත් වැඩ භාර දෙන්නේ නැතිව. මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 පස්සේ පිටරට යනකොට වැඩ භාර ගන්න ආරක්ෂක ඇමැතිවරයෙක් පත්කරලා නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පිටරට යනකොට වැඩ භාර ගන්න ආරක්ෂක ඇමතිකෙනෙක් පත් කරලා නෑ. මම වැඩ බලන ආරක්ෂක ඇමතිලෙස හිටියා 2007 -2010 පස් වතාවක්.

2010 පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිම කෙනෙකු ආරක්ෂක ඇමති ලෙස වැඩභාර දෙන්න දුන්නේ නෑ.

මම පිටරට ගියේ අප්‍රේල් 16. මේ ලිපිය ලංකාවට ලැබිලා දින 12කට පස්සෙයි මම ගිහින් තිබෙන්නේ. ඒ වන විටත් මේ ලිපිය හෝ මෙවැනි ලිපියක් ලැබුණ බව ආරක්ෂක ලේකම් හෝ පොලිස්පති මාව දැනුවත් කළේ නෑ.

මම නිදහසට කාරණා කියනවා නෙමෙයි. සත්‍ය තත්ත්වය මම මේ දැනුවත් කරන්නේ.  මම 16 ගියේ වන්දනා ගමනක් දවස් තුනක් හිටියා. මට මේක ටෙලිෆෝන් කරලා කිව්වනම් මම ඔක්කොම වැඩ නවත්වලා ලංකාවට එනවා පැයේ ගමන.

එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑ. මම සිංගප්පූරු ගියා. විවේකයක් ගන්න ගියේ. සිංගප්පූරුවේ දවස් තුනක් හිටියා 21 වැනිදා හවස තමයි මම එන්න නියමිතව තිබුණේ. 21 උදේ මේ සිදුවීම පැයක් යන විට දැනගත්තා.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන තොරතුරු ගියා. මාත් එක්ක හිටපු මිත්‍රයෙක් ඊට පැය දෙකකට පස්සේ සිංගප්පූරවේ අතේ තිබෙන ජංගම දුරකතන්යෙන් පෙන්නුවා මෙන්න ජනාධිපතිතුමා ලියුමක් යනවා මේ  ගැන බලන්න කියලා. ඒ ගියේ ප්‍රභූවරු පරිස්සම් කරගන්න කියපු ලිපිය.

මම ඒ ලිපිය දැක්කෙත් සිංගප්පූරුවේදී සමාජ මාධ්‍ය හරහායි. Staff DIG මෙම ලිපිය මගේ DIGටත් අගමැතිගේ DIGටත් යවන්න ඕන. මේ දෙදෙනාගෙන් එක් අයෙකුටවත් මෙවැනි ලිපියක් එවා නෑ.

අප්‍රේල් 9 කැබිනට් රැස්වීමෙන් පස්සේ අනෙක් කැබිනට් රැස්වීම පැවැත්වෙන්න තිබුණේ අප්‍රේල් 16. සියලුම ඇමතිවරු ඉල්ලීමක් කළා එදාට තියන්න එපා රටවල්වල යනවා කියලා.

ඒ අනුව අප්‍රෙල් 16 නියමිත රැස්වීම තිබුනේ නෑ. ඒ සතිය කවුරුත් නිවාඩු ගන්න සතියක්.”

Read more

Local News