සමාජ ජාලා තහනම ඉවත් කරන්නැයි ගම්මන්පිල ඉල්ලයි

Share

සමාජ ජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියි.

අද  (26) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

“රටේ ප්‍රශ්නයක් වුණු ගමන් සමාජ ජාලා තහනම් කරන ලොව එකම රට ලංකාවයි.

තාක්ෂණය දියුණු ලෝකයේ සමාජ ජාලා තහනම විහිළුවක්.

අද කවුරුත් වරචුවල් ප්‍රයිවට් නෙට්ර්වක් හෙවත් වී.පි.එන් භාවිතා කර සමාජ ජාලා වලට ගොඩ වෙනවා.

තහනම තිබිය දී ජනාධිපති අගමැති සමාජ ජාලා වලට පණිවිඩ එකතු කරනවා.

ඒ නිසා ලෝකය ඉදිරියේ තවදුරටත් විහිළුවක් නොවී මේ තහනම් ඉවත් කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

සමාජ ජාලා තහනම් කරලා තිබෙන්නේ වෛරි ප්‍රකාශ පැතිරීමේ අවදානම නිසාලු.

අපි නම් සමාජජාලා හරහා වෛරී ප්‍රකාශ පතුරනවා දැක්කේ නෑ.

ඒ වෙනුවට දැක්කේ සැක කටයුතු වාහන පිළිබඳ තොරතුරු ලේ බැංකුවට අවශ්‍ය ලේ පිළිබඳ තොරතුරු පතුරන්න සමාජ ජාලා භාවිතා කරනවායි.

ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳේ නිදා ගෙන ඉන්න කොට.  දැන් ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද?

ඊළඟට වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ වාහන වල ගමන් කරන අතරේ. දැන් වාහනවල ගමන් කිරීමත් තහනම් කරනවා ද?

ඒ නිසා ජාතිය අඬන මොහොතක ජාතියට විහිලු සැපයීම නවත්වලා සමාජජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කර සිටියේය.

Read more

Local News