යුද හමු‍දාවෙන් සහතිකයක්

Share

ඉදිරි කාල වකවානුව තුළ මෙම ත්‍රස්ත කණ්ඩායම සහමුලින්ම නැගෙනහිර පළාතෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

නින්දවුර් සිවිල් වැසින් දුන් තොරතුරු අනුව අම්පාරේ දිස්ත්‍රික්කයේ ඊයේ(26) දිනයේ දී මෙම මෙහෙයුම සිදු කළ බවත් එම තොරතුරු නිසි වෙලාවට නොලැබුණේ නම් තවත් විනාශයක් වෙන්න ඉඩ තිබු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම සෑම ප්‍රදේශයකම සිවිල් වැසියන් ලබා දෙන තොරතුරු ආරක්ෂ නිලධාරින්ට ඉතාමත් වැදගත් බවද ඒ මහතා නැවත වරක් පැවසීය.

එසේම පසු ගිය දින තුන තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි නින්දවුරු ප්‍රදේශයේදී ලියා පදිංචි නොකල අතහැර දැමු වාහනයක් හමු වු බවත් ඒ මහතා පවසයි.

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ අනුදැනුම සහ මෙහෙයවීම අනුව මෙම මෙහෙයුම සිදු කළ බවද ඒ මහතා එහිදි වැඩි දුරටත් පැවසීය.

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) හමුදාව සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදු විය.

එම වෙඩි හුවමාරුව සහ පිපිරීම සිදු වු නිවසේ තිබී පුද්ගල මළ සිරුරු 15ක් හමු වි ඇත.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ආරක්ෂක අංශ සහ අවිගත් පිරිස අතර සිදුවූ වෙඩිහුවමාරුව අතරතුරදී ප්‍රදේශයේ නිවසක් තුළ මෙම පිපිරීම සිදුවී ඇති බවයි.

කල්මුණ පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වයෙකුට ඊයේ පස්වරුවේ තොරතුරක් ලැබී තිබේ.

ඒ සයින්දමරදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවටයි.

පොලිස් නිලධාරියාගේ දැනුම්දීම මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇත.

පොලීසිය පැවසුවේ පොලිස් නිළධාරීන් එම නිවස ආසන්නයට පැමිණිමත් සමඟ නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇති බවයි.

ඉන් මොහොතකට පසු නිවස තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් විසින් පිපිරීම් තුනක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුධ හමුදාව එම ප්‍රදේශයේ පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර පිපිරීම් සිදුකරන ලද නිවසද පරීක්ෂාවට ලක් කළේය.

එහිදී නිවස තුළ තිබී  මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයින් තිදෙනෙකුගේත් , කාන්තාවන් තිදෙදනෙකුගේ මෘත ශරීර සහ කුඩා දරුවන් 6දෙනෙකුගේ මෘත ශරීර හමුව ඇත.

තවත් තිදෙනෙකුගේ  මෘත ශරීර නිවසෙන් පිටත තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය එක් අයෙකු සතුව ටී 56 වර්ගයේ ගිනි අවියක් තිබෙනු දක්නට ලැබේ.

මේ අතර ආරක්ෂක අංශ එම නිවස තුළට යන විටත් බරපතල තත්ත්වයෙන් තුවාල ලබා සිටි කුඩා දරුවෙකු සහ කාන්තාවක් රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර  කල්මුණේ, චාවලකඩේ, සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පැනවු පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News