දඹුල්ලේ එළවලු ගොඩ ගැසෙයි – ගොවීන් වේදනාවෙන්

Share

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සමඟ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් ගේ අඩුවීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් රැගෙන ආ එළවලු විශාල ප්‍රමාණයක් අලෙවි කරගත නොහැකිව දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ.

මේ හේතුව නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු කිලෝව රුපියල් දහයකට හෝ අලෙවි කර ගැනීමට නොහැකි බව ගොවීහු පවසයි.

ගොවීන් විසින්  රැගෙන ආ එළවලු  තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිරී ඉතිරී ගොස් තිබෙන අතර විශාල එළවළු පිරවූ ලොරි ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගය දෙපස නවතා තිබෙන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.

ගොවීන් කියා සිටියේ ඒළවළු මිලදී ගැනීමට පැමිණෙන දුර බැහැර ප්‍රදේශවල වෙළෙන්දන් නොපැමිණීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව වෙළඳපොලේ තබා තිබෙන බවත් පසුව මෙම එළවළු ඉවත් කිරීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙයි.

වම්බටු මෑකරල් මාළු මිරිස්  අමුමිරිස්  ලීක්ස්  කැරට් බීට් ආදී එළවළු විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් රැගෙනවිත් තිබෙන අතර ඒවා කිලෝවක් රුපියල් 10 සිට 30 දක්වා වූ මිලක සඳහන් කළ ද එම මිලට හෝ තම නිෂ්පාදන මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති බව ඔවුහු දැඩි වේදනාවෙන් යුතුව ප්‍රකාශ කර සිටියහ.

පසුගිය දින කිහිපයේ ද මෙයාකාරයෙන් ගොවීන් අරගෙන ආ එළවළු තොග විශාල වශයෙන් ඉවත් කිරීමට සිදුවූ බවත් අද ( 27)  දින අළුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ව්‍යාපාරිකයෝ පවසයි.

රටේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බොහෝ එළවළු ගොවීන් ද තම නිෂ්පාදන රැගෙන නොයන බවත් ඇතැම් ගොවීහු කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ  අද උදෑසන වන විට දැඩි තදබදයක් පැවතිණි.

ඒ පසුගිය දින කිහිපයේම අස්වනු නෙළා රැගෙන ඒමට නොහැකිව සිටි ගොවීන්ද එක වැරම අස්වනු වෙළඳපොලට රැගෙන ඒම හේතුවෙනි.

ව්‍යාපාරිකයන්ට කියා සිටියේ කෙසේ හෝ ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු කීයකට හරි අලෙවි කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන බව ය .එහෙත් වෙළෙන්දන්ගෙන් නොපැමිණීම හේතුවෙන් ගොවීන්ට විශාල පාඩුවක් සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

Read more

Local News