ප්‍රධාන බෝම්බකරුගේ පියා සහ සහෝදරයින් මරුට-බිරිඳ සහ දියණිය තහවුරු වෙයි

Share

පාස්කු ඉරිදා දින ප්‍රහාර ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ පියා හා සහෝදරයින් දෙදෙනෙකු කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සහරාන් හෂීම්ගේ බිරිඳගේ සහෝදරයෙකු වන නියාස් ශරීෆ් නැමැත්තා රොයිටර්ස් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ සයින්දමරුදු වෙඩි හුවමාරුවට පෙර සැකකරුවන් විසින් නිකුත් කළ වීඩියේ පටයේ සිටින පුද්ගලයින් තිදෙනා සහරාන්ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා බවට තමා හඳුනා ගත් බවයි.

‘සයිනී හෂීම්‘ සහ ‘රිල්වාන් හෂීම්‘ නැමැති සහරාන් හෂීම්ගේ සහෝදරයින් දෙදෙනා සහ පියා වන ‘මොහොමඩ් හෂීම්‘  නැමැත්තා අදාළ වීඩියෝ පටයේ අදහස් දක්වමින් සිටින බව නියාස් ශරීෆ් නැමැත්තා ප්‍රකාශ කර ඇත.

ආරක්ෂක අංශ පසුගිය සිකුරාදා රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ සැකකරුවන් පිරිසක් රැදී සිටි නිවසක් පරීක්ෂා කිරීමට යාමේ දී වෙඩි හුවමාරුවක් සිදුවූ අතර නිවස තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් බෝම්බ පුපුරවා ගෙන තිබුණි.

එහිදී වැඩිහිටි පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ළමුන් 6 දෙනෙකු මියයේය.

තුවාල ලැබූ කුඩා දැරියක් සහ කාන්තාවක් ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඔවුන් දෙදෙනා ප්‍රහාර මාලාවේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය බවට ද තහවුරු වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නමැති කාන්තාව සහ ඇයගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඩ් සහරාන් රුසෙයිනා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

මේ අතර ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් අදාළ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News