දිවයින ආසන්නයට ෆොනී එයි

Share

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව(‘ෆොනී’) ඊයේ 28 වන දින රාත්‍රී 11.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ.

මෙම පද්ධතිය මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද සුළං සහ තද වැසි තත්වය අද(29) සහ හෙට(30) දිනයන් වලදී පැවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

අද දිනයේදී දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ. කි. මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News